Monday, May 21, 2012

මුට්ට කරගසන්නෙක්.

කරේ තියන් අල ලූනුයි ගෙනාවේ
වෙරේ අරන් ලොරි ගණනින් ගෙනාවේ
දුකම තමයි සංසාරෙන් ගෙනාවේ
ඉර බැස්සම මත් වතුරට හිනාවේ

පැඳුර නැතුව බංකුව උඩ නිදන්නා
නිතර නිතර එළිවෙනකම් කහින්නා
සොඳුර නැතුව තනියම කල් ගෙවන්නා
ඉරට කලින් පිටකොටුවට දුවන්නා

අඩ නිරුවත් පෑදුන ඇට සැකිල්ල
පෙට්ටි කඩෙන් දියවන කය රැකිල්ල
කරේ තියන් ජීවන බර ඇදිල්ල
''අයින් - අයින් '' ඉඩදෙනු! දිවි ගෙවිල්ල.

Thursday, May 10, 2012

නිදිකුම්බා මල.

නිදිකුම්බා මල් මුහුණ
ලැජ්ජාවෙන් ඇඹරුණා

නිදුකුම්බා පත් සිරුර
ලැජ්ජාවෙන් හැකිළුණා

නිදිකුම්බා ඇස් වලින්
මොනවදෝ මිමුණුවා

නිදිකුම්බා රත් සිරුර
යන්තමට සෙලවුණා !

කොන්දොස්තර මහතා , බසය සහ මගියෙක්.

හරියටම උබෙ හඬත්
බස් එකේ හඬ වගෙයි
බස් එකේ ඇන්ජිමත්
උබේ හදවත වගෙයි

නාසයේ වා කවුළු
වසා දමලා වගෙයි
දෙකන් අගුළුත් කඩා
නුඹේ හඬනම් ඇසෙයි

ඉදිරියට තල්ලුවත්
මුළු හිතම තෙරපවයි
ජීවිතේ තල්ලුවක්
ලැබුනොතින් පස්සටයි

ජීවිතේ ටිකට් පත
පොඩිම පංතියෙ වගෙයි
යෑම හරි දුෂ්කරයි
මහා කන්දක් වගෙයි

ඉතිරි රුපියල් නැතත්
හිතේ අහිතක් නැතෙයි
ජීවිතෙත් සිල්ලරයි
ලැබෙන නොලැබෙන එක සැකයි.

දැවෙන හදවතක්.

මහා වන ගින්නක
නිවේවිද සුළු දියකට
''සිටිනු!'' කියු පලියට
නැවත්විය හැකිද හදවත?

සීතලට දැනුනට
ඇහි පිල්ලමක් යට හිඳ
උණු කළ හැකිය හදවත
එක කඳුළු බිඳකට

සිසිලසක් තියනවද
දැවෙන හදවතකට
වැළදගෙන හිටියට
පිදුරු හදවතක් තදකර?

අසමත් ප්‍රේමය.

සොඳුර ආපසු එන්න
ප්‍රේමයේ පාසලට
මා හැරලවා යන්න

කලින් අසමත් වෙච්ච
පාඩමක් දැනගන්න
ප්‍රේමයේ පාසලට
යන්න නැවතත් දෙන්න

ප්‍රේමයේ පොත් පිංච
තව ඇත්තෙ එහෙමමද?
ආයෙමත් ලියන්නට
තවත් පිටු තියනවද?

ප්‍රේමයේ විභාගය
පෙර වගෙම අමාරුද?
නියම පිළිතුර වුණත්
ප්‍රතිඵලය ගැන සැකද?

මට වඩා දක්ෂයන්
හැම තැනම ඉන්නවද?
කොයි තරම් හැකි වුණත්
තියන තරගය වැඩිද?

සොඳුර ආපසු එන්න
ප්‍රේමයේ පාසලට
මා හැරලවා යන්න.

වෙසක් සඳ.

වෙසක් සඳ පායලා දැක්කම
සිල් ගත්ත මේ හිතත් අරගෙන
ඉදලහිට වත් පංසලට නොගියට
මටත් හිතෙනව නිවන් යන්නට

පහන් දැල්ලක් වගෙලු ජීවිතය!
ටික කලක් හරි රැදී තිබුණට
ඒ තරමටම එළිය දෙනවද
දවස ගානෙම දැවෙනවා මිස?

දින දිනම උරුම වන අඳුරය
මලානික ජීවිතය කුමටද?
කල්පයක් වුව බලා ඉන්නද
කෙළවරක අස්වැසිලි සඳකට?

මරණය වුවද කම් නැත
ජීවිතය වුවද කම් නැත
තියෙනවද කමටහන
සොයාගන්නට ජීවිතය?

මා කියා අයෙක් නැත
ඔබ කියා කෙනෙක් නැත
හිත කියා එකක් නැත
මට වෙන්ව කිසිත් නැත

දස අතම ගිලගන්න අඳුරය
කොහිද නිවනහි ස්වරය?
සිත නිවන කමටහන
නිවන! අමාමහ නිවන!