Wednesday, January 7, 2015

වල සහ විල.

මඩ වතුර පුරෝගෙන එන අයට ඔරෝගෙන තම බලය පතුරවාගෙන හිටි මහ වළ
ඉවුරට උඩින් පැන බිජුවට අහුරක් ගෙන මූණටම ගැසුවා බැරිම තැන දොළ
කොළ පාට අත් වලින් ගසා ජල තලයට එසෙව්වා හිස දහවලක ඒ මල
එදාට පස්සෙ ටික ටික වල ගැන වගක් නෑ දැන් ඒකට කියන්නේ නෙළුම් විල

නිදන් හොරු.

බලා සැනහෙමින් බුදු රුව
ධර්මය රැස්කරගත්ත අය

බුදු බඳ හාර හාරා
අධර්මය අරගත්ත අය

ඒත් ඒ කොයි අයත්
නිවනක් හොයන අය.

හදිසි සමුගැනීමකට පසු.

"මචං මම යනවා"යි පිට බදා සමුදෙන්ට
වෙච්චි වරදක් ඇතොත් සමාවක් ඉල්ලන්ට
මධු විතක පෙණ බුබුළු හවස් යම දල්වන්ට
බැරිවුණා නේද බං බලමු අපි සෙට් වෙන්ට

පල නැති ගසක් බව දැන දැනම
මලක් සේ නටු තුඩක පිපුනාම
ඉලව් ගසක මේ හැටි එරවීම
සතුටක්ද? මේ තමයි කෙළවර ඉවසීම

අමෘතය යයි කියා නම ගැසූ බඳුනක
හලාහල විෂ ඔබා තියෙන බව දැක දැක
පලාපල හිත හිතා අනාගත සිහිනෙක
බර දරනු පුළුවන්ද ගිලිහෙනා සුසුමක?

ජීවිතය ලුහුබදින අහිංසක ළමයින්ට
ඉදින් මම සමගනිමි! නොකියාම නික්මෙන්ට
සිදුවුණේ යන නිසා නොවෙයි මම බුදුවෙන්ට
වංකගිරියක හැකිය කොටි වලසු ඇහැරෙන්ට

අඩක් නිමකර තිබූ නුඹ මැසූ ඒ ඇදුම
තබා ඇත හදවතේ කෙළවරක සොදුරුතම
මග හැරුණ ජීවිතේ සොයාගන්නා තුරුම
තදින් රැකගෙන ඉදිමු අපි අතර බැදි මැහුම.

පඩි.

වැඩි කරල පඩි රුපියල් පන්සීයකින්
ලොක්කා කිව්වා
කරන්න හොදට තව තව
ඔයාගෙ හොද ප්‍රොෆෝමන්ස්
ලබන අවුරුද්දෙත් ඉන්ක්‍රිමන්ට්

අඩන්නද හිනහ වෙන්නද හිතාගන්න බැරිවුණා මට

ගෙදර යන ගමන් අඳුරෙම
ගොඩ වැදුණා හංදියෙ හෝටලේට
රුපියල් හාරසිය අසූවයි
කොත්තු පාර්සල් දෙකට

මග දිගට එනකොට
පහු කරගෙන ආව
ලයිට් වැල් එල්ලපු
කාර් පෙජෙරෝ නවතපු
ඒ කෑම කඩවල
සුවඳ තිබුණා මෙතනත්
ටිකක් වැඩිපුර හිටියා සෙනග
පඩි දවස්වල

ගොඩවෙනකොටම ගෙදරට
පොඩි උන් දෙන්න ආව දුවගෙන
දැවටෙනකොට පාර්සලයට
පවුල ඇහැව්වා
"කොහෙන්ද අනේ මෙච්චර සල්ලි?"
නිහඩවම හිටියා මං

ලයිට් බ්ල ඇවිල්ලා තිබුණා මේසෙ උඩ
ඒක ගන්නව දැක්කහම අතට
"ගිය මාස දෙකේම වතුර බිල් එකතුවෙලා
මේ මාසෙ එයි ඒයි"
ඇය කිව්වා
තිබුණෙ හරිම දුක්මුසු බවක් ඒ වචනවල
නිහඩවම හිටියා මම ආයෙත්

කාමරේ ඇතුළෙන් ආව
අම්මගේ කෙදිරිය
මතක් කළා මට
බෙහෙත් සීට්ටුව
ආපහු හැරුණා මම

පාරෙදී දකින නන්නාදුනන මූණුවල
හෙම්බත් ඇස්වලට යටින්
හිනාව එල්ලගෙන තිබුණා
අහසේ අඳුරු තැන් අතරින්
තරු පායලා තිබුණා
මැණික් කැටයක් වී
තරුවක් කඩා වැටේනම්
මට සිතුණා.

කෑ ගැහැව්වට.

වෙරළෙ හැපි හැපි කෑ ගැහැව්වට - තමන් ගැඹුරුය හිතන් හිටියට
වෙරළ කිට්ටුව ගල් මලක් මිස - මෘදු මොළොක් එක මලක් පිපුණද
අපුල කරදිය වළල්ලෙහි මැද.

බැරි ඇයි?

මලු පුරෝගෙන ගඟ පැමිණි විට
සයුරට තියෙනවා හැමදාම පැනයක්
විසල් සුවිසල් තුරු කදන් මිස
මන්ද කිසිදා නොගෙනාවෙ පැළයක්?

ගඟ කියන එක අදෝනාවක
සයුර ගැන තියනවා ඇත්තක්
මෝය වැට ළග නවතිනව මිස
එන්න බැරි ඇයි එහෙට සැරයක්?

ඇය.

ඉදින් කුමටද මධුවිත
බිඳක් හෝ තොල නොගා හිටියට
මතින් නම් මම

මේ පිළිස්සෙන මොහොත
උගුරට මදක් පහළින් තැනක
නිසොල්මන් මේ බඳුනේ
සඳක් සේ සිටින්නේ ඇය

ඩී.ජේ හඬක් වී
නොතේරෙන බසකින්
ඒ ඇසෙන්නේ
ඇගේ නිහඬ කටහඬ.

ප්‍රියාවිය සොරාගනු මැනවි මා සිත.

හිත වැරෙන් අල්ලාගෙන
බොරළු මත නිදියමි
අද රෑට

සඳවතිය ඔබ එන්න
මධු විතක් පුරෝගෙන
මා උමතුවෙන් අද

සොරෙක් වන්නට ඕනෑය මට
සිතක් සොරාගත හැකි
කෙතරම් රිදුමක්ද ප්‍රියාවිය
සොරෙකු වන්නට බැරිකම?

ප්‍රියාවිය
සොරාගනු මැනවි මා සිත
වටින්නට ඉඩ ඇත.

එකිනෙක බැදෙන විට.

මා සතු කුඩය ඉවතලා
ඔබ සතු කුඩෙන් යමි
මදක් තෙමෙන්නට හැර උරහිස්

අතකින් බැදෙනවිට උර
වලාකුළකට හැකියි
තවත් හයියෙන් වහින්න

මිටකට වුණත් කුඩයක
බැරිවා නොවෙයි
රැහැනක් වෙන්න ඉඳහිට
දෑත් එකිනෙක බඳින.

වෙසක්.

අරලියා ගස බකට් අරගෙන හවස් වෙනකොට දැල්වුවා
ගසක් දිග ගිය වැලක් වැඩ-කිඩ නිවී දැල්වී පෙන්නුවා
තවත් කළුවර ලගා වෙන විට අහස පුන් හඳ එල්ලුවා
"මචං ඇවිදින් කාල පලයං" ලවුඩ්ස් පීකර ඉල්ලුවා

සොඳුර මට සීතලයි.

සොඳුර මේ වැහි බිංදු
කොඳුරමින් ඔබේ හඬ
හිතේ පතුලට ගලයි

විලක් තරමට පිරෙයි
හදක් හෙමිහිට ගැහෙයි
සොඳුර මට සීතලයි

තුරු මුදුන් වැනි වැනී
රතු පාට තොල් වලින්
අසල තුරු සිපගනියි

සොඳුර මට සීතලයි.

බෝ ගසක්.

බෝ ගස
තුරු පතක් හෙළයි මළුවට
අමදීමින් යනවිට
අවසාන කොළ කිහිපය.

තුරුපත්.

උස් තුරු මුදුන්වල ඇති පත්
ස්නානයෙන් සතුටුව
පළමුව වැටෙන
නොඉදුල් නැවුම් ජලයෙන්

මීට ටික කලකට පෙර
ඉහළින්ම හිදිමින්
ඉහළින්ම වැජඹුණු
කොහිද ඒ සහෝදර තුරුපත්?

නුඹ දැනෙන තැන.

ලෝකය තියා පැත්තකින්
ගුලි ගැසී මුල්ලක
හුස්ම ඇදගෙන බොන වෙලාවට
ඇහෙනවා මට
නුඹේ කටහඬ
ඒත් නුඹ නෑ එතන

කීක් ගාගෙන
එස්.එම්.එස් එකක් එන හඬ
දුරකථනය නාද වෙන හඬ
ඒත් නුඹ නෑ එතන

තවත් සමහර වෙලාවට
පේනවා මට
නුඹ ඉන්න හැටි
හුරු පුරුදු ඉගි බිගිම දම දම,
ඒත් නුඹ නෑ එතන

අන්න ඒ වෙලාවට
උගුර හරියට වියලිලා
හරි බරක් දැනෙනවා ඇස් යට

ඒ වුණත් හිතෙන්නම
එක තැනක තනිවෙන්න
නුඹ දැනෙනවා එතන.

වී ඇට ගැන.

මිතුරු ගිරා පෝතකය,
ඒ සිනා හඬ අසව!
අර සරුසාර ගොයමින් එන
රන්වන් කරල් පැළැන්දූ

මීට ටික කලකට ඉහත
හඬමින් වුවද
මඩට වැටෙන්නට සිදුවුණු
වී බිජුය ඒ

මඩට වැටෙනු අකමැතිව
නියර මතට පැනගත්
තවත් බොහොමයක් වී ඇට
දිරා පත්ව යනු බැරිව
වැලපෙන හඬ
යටපත් කරගෙන ඇහෙන.

ගමට යන්න පෙර.

මේ මාසෙ පඩි අරගෙන
සතුට මිලට ගමි
මල්ලකට පුරවගෙන
ගමට යමි

ගෙදර යන අතර මග
පෙට්ටි කඩයකට ගොඩවැද
උලුඳු වඩයක් කා
ප්ලේන්ටියක් බොමි

හේත්තු වී උලුඅස්සට
පාර දිහා බලාගෙන ඉන්න
අම්මාගෙ මුහුණේ
සිනාවක් එල්ලමි

ආයෙත් එන්න කලියෙන්
මියෙන තුරු එළිය දුන්න
තාත්තගේ, සොහොන ළග
පහන් තැටියක් දල්වමි.

සඳට.

සඳ නුඹ පෙනේ
දුර්වර්ණ මඩ කඩිත්තක
බැදි ජල අවුරු අතරින්
රිංගාන පතුලටම ගිය

නුඹ දුටිමි
පෙර දිනක
වෛවර්ණ මත්සකයින් පිරි
පියුමන් ගැවසිගත් විලක.

වෙසක් පසු වී.

පෙරදා සවස
නෙක නෙක වර්ණයෙන් සැරසුණු
අටපට්ටම
මිදුලේ වැලක එල්ලී හිඳී
වර්ණවත් රුධිරය
සව්කොළ මාංශය
මහ වැස්සකට දන්දී
අනිත්‍ය මෙනෙහි කරමින්

සංසාරය දවමින්
පහන් තැටියක්
සෙලවෙන සිතක්
ඔසවාන

කළු වළා අතරින් එබීගෙන
ආලෝක පූජාවක
වෙසක් සඳ
අද මදක් වියපත්ව

වෙසක් බලමින් යති
තරුණ ජෝඩු
සාධුකාර දෙති
මැදිවිය ඉක්මවූ ගැහැණු

ඩුම් ඩුම් හඬට
දන්සැලක
උඩ පනින කොලු ගැටව්
ආලවක වෙස් ගෙන

නාලාගිරි ඇතුන්
නාද කරමින් යති
මග දිගට
බුදුරදුන් නිසසලව වැඩහිදී.

කුටියක්.

හදවතට කන්දෙමි
සයන මත උඩුකුරුව වැතිරෙමි
ඇල්පෙනිති තුඩකින්
හදවතට ඇනගමි

හුස්මක් උරා බොමි
සුසුමක තාලයට පැද්දෙමි
හද ගැසුම් අතරතුර
මතකයන් අහුලමි

සුවිසල් ලෝකයක
නොපෙනෙන තරම් කුටියක
ඇගිලි ගනිමින් හිඳිමි
ඒ විසල් ලෝකයෙම
තවත් එක් කුටියක්
හිතෙහි පතුළත තනමි.

අවුරුදු.

කොච්චර කාලෙකින්ද අම්මෙ
අපිට නිවාඩුවක් දෙන්නෙ
සංසාරෙම බලන් ඉදල
ගෙදර ආවෙ නිවන් යන්ට

පොඩි නංගිට බෝනික්කයි
පොඩි මල්ලිට නිලා කූරු
බක් මාසෙට මල් පිපිච්ච
අම්මෙ ඔයාටයි චීත්තෙ

දැක්කා මම තාත්තාව
කොටුවේ කඩපිලක් අයිනෙ
දිව්ය ලෝකෙ ඉදල ඇවිත්
ගෙදරට බඩු හොයන්න ඇති

අත් දෙකේම මලු දෙකකම
ආදරෙ පුරවලා තිබුණ
ඇස්වලටත් කඳුළු ආව
හෙමිහිට මම පිහිද ගත්ත

ලොකු මල්ලිට ආමි එකෙන්
නිවාඩු නොලැබෙන්න ඇද්ද
අම්මේ මේ කොහෝ හඬට
මල්ලිත් කන්දෙනව ඇද්ද

අවුරුද්දේ සුබ නැකතට
බෝනස් එක හම්බවුණා
ලොකු නංගිගෙ කටයුත්තට
දිනයක් දාගෙන කියන්ට

වතුර නැතිව පාළු වෙච්ච
හේනෙ කැකිරි හිනැහෙනවද
ලේ ඇට මස් දිය කළාට
ඉතිරෙන් නැති කිරි මොකටද

ගෙදර බලල ඇවිත් යන්ට
ඉර දෙවියනි යළි වඩින්ට
අම්මේ ගනුදෙනු කරන්ට
මේ හදවත තියාගන්ට.

වයස දිනක් පමණ වයසැති බිළිඳියක් බෝක්කුවක් යටින් හමුවේ.

වයස දිනක් පමණ වයසැති බිළිඳියක් බෝක්කුවක් යටින් හමුවේ|

හබුං කටයි - බත් දෙකටයි
බෝක්කු කටයි - පුතා නිදයි

කොහෙද පුතේ අම්ම ගියේ - පුතු හඬවා යන්න ගියේ
නෑවිත් යළි ඉන්න ගියේ - කිරි අරගෙන යන්න ගියේ

මවු කුසයෙන් උපන්නියා - මවු නොදැකම හඬන්නියා
ලේ කිරිකර පොවන්නියා - ලොවට බයේ දුවන්නියා

පාර උඩින් බස් යනවා - අපේ පුතා නිදියනවා
පාර යටින් දිය එනවා - මව් සෙනෙහස දියවෙනවා

දොයි දොයි දොයි දොයිය බබා - අම්මා පැන ගියපු බබා
දොයි දොයි දොයි දොයිය බබා - අප්පා පැන ගියපු බබා

හබුං කටයි - බත් දෙකටයි
බෝක්කු කටයි - පුතා නිදයි

මදුරු දඩයම.

මොහොතක් ඉවසීමෙන් බලාගෙන ඉන්න මඳුරුවා තුඩ ලේ නහරයකට ඇතුල්කරලා උරාබොන්න සූදානම් වෙන අවස්ථාව වෙනකම්. රතුපාට ලේ බිඳක ආස්වාදය විදින්න පටන් ගන්න මදුරුවෙක් බොහෝදුරට මුලින්ම කරන්න ඇස් පියාගන්න එක. ඇස් වහගෙන රසම රස පලතුරු බීම බෝතලයක් රස සිහිපත් කර කර බොන වෙලාවකදි මොනතරම් රසද. ආන්න ඒවගේ තමයි මදුරුවෙකුට උගේ කටේ හයිකරන් ඉන්න බටෙන් ලේ බින්ඳුව බින්ඳුව උරලා බොන එක.
ලේ රහ වැටිච්ච මඳුරුවෙකුට වටේ පිටේ සිද්ධ වෙන දේවල් වලට වඩා ඌගෙ සිහිය තියෙන්නෙ බඩ පුරවාගන්න එක ගැන. ඔන්න දැන් තමයි හොදම වෙලාව. හුරු අතේ මාපට ඇගිල්ලටයි දබර ඇගිල්ලටයි පුළුවන් හෙමිහිට මදුරුවාගෙ කකුලක් අල්ල ගන්න. ඔන්න ඔය වෙලාවට තමයි මඳුරුවා ආයෙත් පියවි සිහියට එන්නෙ. එහෙම ආපු ගමන් මදුරුවා කරන්නෙ උගෙ අනිත් කකුල්වලින් පහර දෙන්න පටන් ගන්න එක. ඒ වෙලාවට සුදානමින් ඉන්න ඕනා පහර වළක්වාගන්නත් පහර දුන් කකුල නැවත ඇදගන්න නොදී අල්ලා ගන්නත්. ඊට පස්සෙ උගෙ සමබරතාවය නැතිව යනවා. දැන් පුළුවන් ඌව ඕන විදිහට පාලනය කරන්න.
මුලින්ම කරන්න ඕනෙ ඌ පහරදෙන්න පාවිච්චි කරපු කකුල ගලවන එක. එච්චර දෙයක් නෙමෙයි පොඩ්ඩක් බර යොදලා ඇද්දනම් ඇති. කකුලක් අහිමි වුණත් මදුරුවකුගෙ හිත බොහොම හයියයි. ඊට පස්සෙ ඌ කරන්නෙ උගෙ තියන අනිත් කකුල්වලින් පහර දෙන එක. අපිට කරන්න තියෙන්නෙ කලින් කරපු දේම තමයි. පහර දෙන කකුල අල්ලා ගැනීමත් එම කකුල ගැලවීමත්.
ඔහොම කරගෙන යනකොට මදුරුවාට ඉතුරුවෙන්නෙ එක පාදයයි. ඒ අපේ දබර ඇගිල්ලටයි මහපට ඇගිල්ලටයි අහුවෙලා තියන කකුල. මේ වෙනකොට ගොඩක් වෙලාවට මඳුරුවා අපේ පාලනයට ඇවිත්. එහෙම නාවත් ඌට පහර දෙන්න තියෙන්නෙ පිහාටු දෙකෙන් විතරයි. ඌ හරිම මෝඩයි. ඌට තේරෙන්නෙ නෑ එහෙම පහර දෙනකොට අපිට රිදෙන්නෙ නැති වගත්, පවන් සලනවා වගේ සිසිලසක් දැනෙන වගත්.
දැන් තියෙන්නෙ මහපට ඇගිල්ලයි දබර ඇගිල්ලයි ටිකක් බුරුල් කරන එක. ඒක කරන්න ඕන නිදහස් කරන බව මදුරුවාට නොදැනෙන්න. චුට්ටක් බුරුල් කරනකොටම අයෙත් ඌ චණ්ඩියා වගේ ඉගිලිලා යනවා අපි ඌව නිදහස් කල වග නොදැන. ඌට ටිකක් උඩට ගියහමයි මතක් වෙන්නෙ ආයෙත් ඌට බිමට බහින්න කකුල් නැතිවග.
දැන් හරියට ඌ යනකොට හෙලිකොප්ටරයක් වගේ. මග දිගට හැමෝගෙම ප්‍රශ්න"මොකද වුණේ?" කියලා. ටික වෙලාවකින් මදුරුවෙක්ට වුණ ඇබැදිදිය ගැන අහල පහළ හැම මදුරුවාම වගේ දැනගන්නවා. ඊට පස්සෙ ඉදලා හිටලා එන හිතුවක්කාර මදුරුවෙක් හැර වෙන කිසිම මදුරුවෙක් කාලයක් යනකම් ඒ පලාතකවත් කෙනෙකුට විදින්න එන්නෙ නෑ.