Tuesday, November 27, 2012

තාත්තා යන්න ගියාලු මාව අම්මට දීලා.

මම ගොඩක් පුංචියිනෙ තාත්තේ එතකොට
තාත්තගෙම හැඩහුරුකම තිබුණට
දන්නෙ නෑ මම
තාත්තා කොයි වගෙද කියන්ට

අම්මනම් කියුවෙ
තාත්තා යන්න ගියාලු
මාව අම්මට දීලා
මගෙ ඇස් ඇරෙන්න කලින්ම

මතක්වෙන හැම වෙලාවකම
මගෙ පපුව පිච්චෙනව තාත්තෙ
තාත්ත ගියා කියල
මම ආව වරදට

ඇත්තමයි
අම්මත් ආදරේ කරන්න ඇති මහ හුඟක්
ඒ නිසාම වෙන්න ඇති
තාත්තා ගැන අහනකොට
අම්මාගෙ ඇස්වල කඳුළු තිබුණෙ

එදා වගෙ නෙමෙයි තාත්තෙ
මමත් දැන් හුඟක් ලොකුයි
අම්මත් තාත්තා එනකම් බලන් ඉදලා
ඇස් පියාගෙනත් ගොඩක් කල්

ඒ වුණත් තාත්තෙ
මාව බලන්න නාවට කමක් නෑ
අම්මාට එළියක් වෙන්න දැන්වත්
ඉටි පන්දමක්වත් ගහන්ට.

1 comment:

  1. අම්මෝ ඇඬෙන්නටම ලියලා තියෙනවා...බොහොම ලස්සනයි. හොඳ පැතුමක් තියෙන හොඳ පුතෙක්...

    හැමෝම
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete