Wednesday, June 27, 2012

බිරිඳක් කියන කවි.

උදෑසනම ගෙදරින් යන සැමියානෝ
හවස් වෙලා ආපසු එන සැමියානෝ
ටීවි බල බලා බත් කන සැමියානෝ
අහක බලාගෙන නිදියන දෙයියානෝ

කන්න ගියා බොන්න ගියා මම නොදනී
ලෙඩක් දුකක් හැදෙන්නෙපා නුඹ නොදනී
ඒ කාලෙදි හචින් ගියා දෙදෙන දනී
කඳුළු ගියා උන්නා හැටි මතක් වුණි

උදේ රැයින් සිදුවෙනවා උයන්නට
දවල් තනිය බෑ හිමියනි දරන්නට
එදා වගේ ඇයි බැරි වුණෙ සිටින්නට
මෙදා ජීවිතේ තිත්තයි ගෙවන්නට

ඉස්සර හිටියෙ මගෙ වස්තුව කියාගෙන
මුහුණ පුර මඳ සිනහව පුරෝගෙන
නොසරුප් වචන මට වෙන්කර තබාගෙන
ඇයි හිමියනි දැන් ඉන්නේ ඔරෝගෙන

කඳුළු මිසක් නෑ නිරතුරු හිනාවන්
දෙන්නට ඇයි මෙහෙම වුණේ කියාපන්
එදා වගෙම ආදරේද අසාපන්
නොබැඳ ගෙදර සිටීම වාසනාවන්

පෙකනි වැලේ එල්ලී ඉන්නා පැටියා
හවස ඇවිත් තතු අහනා තුරු හිටියා
මනාප ඇති කෑම ජාති නැති සැටියා
නාඬා ඉතින් නිදපන් මගෙ රන් කැටියා.

ඇගිනස්.

ගමේ අරක්කු ගෑණි
ඇගිනස්
වට පිට බල බල
පදුරක් හොය හොය
කසිස්පු හංගන
උස මහත ගෑනි ඇගිනස්

බීලම මැරුණු
කසිප්පු සිරිදාසගෙ
රැකියාව බාරගත්ත ඇගිනස්

ප්‍රධාන ගැනුම්කරු
ජයදේවව
තමන්ගෙ ගෙදරම
බින්න බස්සගත්ත ඇගිනස්

සල්ලි පොලියට දුන්න
කසිප්පු මුදලට දුන්න
පිරිමියෙක් වගේ ඉන්න
කසිප්පු ගෑනි ඇගිනස්

වීදුරු සෙට්
රීදී මාල වලලු
කසිප්පු වීදුරුවට හුවමාරු කල ඇගිනස්

ගැනුම්කරුවන්ගෙ ඇස් වලට
ගොරක මද ඇල්ලවූ ඇගිනස්
තැරැව්කරුවන්ගෙ අත්වලට
කොමිස් මුදල් දුන් ඇගිනස්

නිතරම පොලිසියෙන් ගෙන්වන
අරුක්කු බෝතල්ම පෙන්වන
කසිප්පු බෝතල් විකුනන
අල්ල ගන්න සාක්ෂි නැති ඇගිනස්

හවස හය වෙනකොට
ඉස්තෝප්පුවෙ ඉඳගෙන
බණ පොත ඇරගෙන
ගමටම ඇහෙන්න
බණ පද කියන ඇගිනස්

පවුල් පිටින් අරගෙන එන දොස් අහන
අවුල් වෙච්ච පවුලක් ගැන නොම සිතන
ඉදුල් වෙච්ච කය නිතරම පිට දුවන
හවස් වරුව බිම ඉඳගෙන යන නිවන

පෝයට සිල් ගන්න ඇගිනස්
හාමුදුරුවො කියන විදිහට
''සිල්වත් උපාසිකා මාතාව'' ඇගිනස්.

Monday, June 25, 2012

නුඹ සහ මම.

සිතුවමක් අලවා ඇත
කැඩපතහි එක් කොනක
නුඹ තනිව සිටින

මම තනිව සිට
කැඩපතින් බලන විට
මට දැනේ
තවමත් සිටින වග
අප දෙදෙන එකට

නුඹ සිනා වී සිටියි
එදා අයුරින්ම
මමද සිනාසෙමි.
මා ළග පමණක්
නුඹේ සතුට
තිබෙන බව කීවා මතකය.

දැන් මා හඬමි.
නුඹ තවම සිනාසෙයි.

Thursday, June 21, 2012

සඳ ගමන.

අපි දෙන්නා හිටියෙ දවස් ගානක් රන්ඩු කරලා මුහුණු එල්ලගෙන. එක දිගට වැගුරුනු කඳුළු බිංදුව බින්දුව එකතු වෙලා විශාල කඳුළු ජලාශයක් හැදිල තිබුනා.දවස් ගානක් වැගුරුනු කඳුළු නිසා අපි දෙන්නාම ගොඩාක් දියවෙලා දියවෙලා ගිහින් පුංචි කුරුමිට්ටන්ගෙ ප්‍රමාණයටත් වඩා කුඩාවට පත් වෙලයි හිටියෙ. ඒ නිසාම කඳුළු ජලාශය කෙලවරක බිම එලලා තිබුන ලේන්සුව අපි දෙන්නටම  හොද සැප පහසුවට ඉඳගන්න තරම් ඉඩ ප්‍රමාණවත් උනා.

වෙලාව ඇති උදේ දහයට විතර. ඇයව අත හැරලා දාලා යන්න පුළුවන්නම් කියලා මට හිතුනා. රෑ පායපු හඳ ආපහු යන්න අකමැත්තෙන් ඒ වෙනකම්ම අහසට වෙලා හිටියා ඉර ඇවිදින් පන්නනකම්ම. ඇයව විතරක්ම නෙමෙයි රන්ඩු වලට හේතුවෙන මේ මුළු ලෝකෙම අත හැරලා හඳටවත් යන්න පුලුවන්නම් කියලා මම කල්පනා කර කර හිටියෙ. ඔන්න ඔය වෙලාවෙ තමයි දේදුන්න පායන්න පටන් ගත්තෙ. දේදුන්නෙ එක කෙලවරක් අපි ඉඳගෙන හිටපු ලේන්සුවත් අනික් කෙලවර හඳ දක්වාත් දිගු වුනා.

මම සෑහෙන්න උත්සාහ කලා දේදුන්න දිගේ නගින්න. ඇය පැත්තකට වෙලා බලා උන්නා මිසක් මම යන ගමන වලක්වන්න කිසිම උත්සාහයක් ගත්තෙ නැහැ. ටිකක් වෙලා යනකොටයි තේරුනේ මට, දේදුන්න දිගේ ඉහලට නගින එක හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි කියලා. මම තව තවත් හෙම්බත් උනා විතරයි.  

හිටපු ගමන් සුළඟක් හමන්න පටන් ගත්තා. මගෙ මහන්සිය නිවන්න ආපු සුළඟ ගැන මට හරිම ලොකු බැදීමක් ඇති වුනා. ඒත් එක්කම සුළඟ එක්ක ටිකෙන් ටික මගෙ මහන්සිය අඩු වෙන අතරෙ මට දැනුණා සුළන් පහර ටිකෙන් ටික වැඩිවෙන බව. සුළන් පහර ටිකෙන් ටික වැඩි වෙලා අනිතිමට ඒක තරමක් විශාලව හමන්න ගත්තා. මට දැනුනා අපි හිටපු ලේන්සුව දැන් තියෙන්නෙ පොළවට උඩින් කියලා. ඇය පුදුම වෙලා මගෙ දිහා බලාගෙන හිටියා. අපි හිටපු ලේන්සුව අපි දෙන්නවත් අරගෙන  ටිකෙන් ටික ඉහලට යන්න ගත්තා.

මම පොඩි කාලෙ ඉදන් ආස කලේ ඉහලට යන්න. ඒ තමයි මම  ඒ තරම් ඉහලකට ගිය මුල්ම දවස. උසයි කියලා හිතාන හිටපු පොල් ගස් වල කරටි වලටත් ඉහලින් අපි දෙන්නා හිටියෙ. ටිකෙන් ටික විශාලව පෙනුන පොල් ගස් වල කරටි එන්න එන්න කුඩාවට පේන්න පටන් ගත්තා. අපි තව තවත් ඉහලටම යන්න ගත්තා. අපිට පහලින් තිබුන ගෙවල් එන්න එන්නම කුඩා වෙලා නොපෙනිලා ගියා.

ඊට පස්සෙ අපි හිටපු ලේන්සුව තවත් උඩ යන එක නැවතුනා. ඒ වෙනුවට අහසෙ ඒ මේ අත පා වෙවී තියෙන්න පටන් ගත්තා. ඔය විදිහට අපි දින කීපයක්ම පාවුනා. මට ඕන උනේ හඳට යන්න. ඒ වෙනකොට මට බලාපොරොත්තු සුන් කරගෙනයි හිටියෙ. මම දුක් වුනා. ඒත් එක්කම එක පාරට මට දැනුනා මාව සැහැල්ලු වෙනවා වගේ. මගෙ අත් වලින් පිහාටු එක දෙක ලියලන්න පටන් ගත්තා. ටිකෙන් ටික මගෙ අත් දෙක අත් තටු දෙකක් බවට පත්වුණා. මම කුරුල්ලෙක් වුණා.

මම ගොඩක් සන්තෝස වුණා මම කුරුල්ලෙක් බවට පත් වීම පිලිබධව.. මට දැන් ලේන්සුවෙන් ඉහලට පියඹා යන්න පුළුවන්. මට දැන් ආපහු හඳට යන්න පුළුවන් බව මට දැනෙන්න ගත්තා. මට ලැබුන තටු වලින් යන මුල්ම ගමන. මම පියෑඹීම ආරම්භ කලා. ඒත් එක්කම මට දැනුනා මගේ සැහැල්ලු බව තරමක් අඩු වුනා වගේ. ඇය මගේ ශරීරයේ එල්ලිලා හිටියා. ඇය ආයාචනා කරන්න ගත්තා ඇයවත් රැගෙන යන ලෙස. ඇයගේ දීර්ග ආයාචනය නිසා මම තීරණය කලා ඇයවත් රැගෙන පියාඹන්න.

මම ඇයවත් කරේ තියාගෙන දවස් කීපයක් තිස්සේ පියෑඹුවා. වලාකුළු අතරින් මම පියෑඹුවා. වැහි වලාකුළුවල තියන තරමක් විශාල වැහි බින්දු මගේ ශරීරයේ වේගයෙන් වැදිලා දෙන වේදනාව නොතකාම මම ඇයවත් රැගෙන පියෑඹුවා. ඒ වෙනකොටත් අපි දෙන්නට හඳ අසලකටවත් ගිහින් ඉන්න බවක් දැනුනෙ නෑ. මට දැනුන එකම දෙය හඳ අපෙන් තවත් ඈතට ඈතට යන බව විතරයි. ඒ මගේ ඉතුරුවෙලා තිබුන අන්තිම ශක්තිය කොටස. ඒකත් ඉවර වුණා. අපි හඳ ආසන්නයකටවත් ඇවිත් හිටිය් නැහැ.

මගෙ බලාපොරොත්තුව සුන් වුණා. මට හොදටම ඇඩෙන්න ගත්තා. මම ඉකි ගහ ගහ ඇඩුවා. ටික වෙලාවකින් මගේ ඇස් පියවුනා. මට නින්ද ගියා. මම ඒ විදිහට කොයි තරම් කාලයක් හිටියාද කියන්න මම දන්නෙ නෑ. හවස් වරුවක මට ඇහැරුනා. ඇය මා අසලටම වෙලා මගේ හිස අතගාමින් හිටියා. මට දැනුනෙ හරිම මෘඳු බවක්. ඇය මගෙ දිහා ලොකු බලාපොරොත්තුවකින් වගේ බලාන හිටියා. හඳ එළිය ඇයගේ මුහුණට වැටිලා ලස්සනට දිලිසුණා. මට දැනුනා මම හඳ අසල ඉන්නවා වගේ.

Monday, June 18, 2012

ලෙච්චමී.

උදේ කහට කෝප්පයත් නොබී
තේ දලු කඩන ලෙච්චමී
දැක්කම හිතේ මලක් පිපෙන්න
සිරියාවන්ත හිනාවෙන් පිරුණ ලෙච්චමී

තේ දලු නෙලන්නිය ඇය
කහට ජීවිතයට
සීනි එක්කරන්නිය ඇය
තේ දලු මල්ල ඔසවගෙන
හිත සැහැල්ලු කරගන්නීය ඇය
තේ දලු කප්පාදු කර
ජීවිතය ලියලවන්නීය ඇය

තේ ගස් වලට පොහොර දමන්නිය
ඩා බිඳු, පවුලකට පොහොර කරන්නිය
කෙසඟ සිරුරකට හිමිකම කියන්නිය
පිරුණු සරීරෙක ශක්තිය තියෙන්නිය
කඳු දිගේ නගින්නිය
හීන කන්ඳක් දිගේ යන්නිය

සවසට සැමියාට සීනි තේ හදන ඇය
දරුවන්ගෙ හිස පිරිමදින ඇය
දරුවන්ට අකුරු කරවන
අකුරු නූගත් ඇය.

එහෙනම් එන්න මේ පැඳුරට.

එහෙනම් එන්න මේ පැඳුරට
අපි ආදරේ කොඳුරමු.
අන්න අර පේන ටකරන් තහඩුවේ සිදුරෙන්
අපි හඳ බලමු.

හඳ මාමේ අපිට
කිරි පැණි දෙනවාද අහමු.
සඳ වගේ මූණ තියන
පොඩි එකෙක් හදමු.
පොඩි එකාට
කිරි පැණි කවමු.

ගේ ඉස්සරහ
කොස් ගහෙන්
තුන් වේල කොස් කාල
උණුම උණු ප්ලේන්ටියක් බොමු.

ඉදල හිටල දවසක
හංදියේ පෙට්ටි කඩෙන්
උලුඳු වඩයක් කාල
කිරි කෝපි එකක් බොමු.

වේවැල් කැඩුන පුටුව උඩින්
කොට්ටයක් තියමු.
කුෂන් කල පුටුවක්ය කියමු.

හවසට මූණට මූණ බලාගෙන ඉමු.
මූණෙනුත් හඳ දකිමු.

Thursday, June 14, 2012

දම්මිගේ කතාව.

සුගත් අත වනනවා හැමදාම
දම්මි වැඩ ඇරලා එනකොට
රේන්ඳ අල්ලනවා ප්‍රේමයට
දම්මි නිමි ඇඳුම් මහනකොට

රෝද දෙකේ අස්සය පිට
හවසට එන කුරුල්ලාය
ගාමන්ට් දොර ඇරෙනා තුරු
මග බලමින් සිටින්නාය.

ඉදල හිටල ටින්කර් වැඩ කරපු සුගත්
අප්පෙක් නැති, අට පන්තිය පාස් සුගත්
සිගරට් ගඳ සගවාගෙන එන්න උගත්
හවස ඇවිත් දම්මි අරන් දුවන සුගත්

දවසම ඉදිකටුවට අහුවෙන දම්මි
හවසට මල් මහන්නී
මඬ ගොහොරුවක ඉන්න සුගත්
කියන මල් ගැන සිතන්නී.

දින හයක් එක දිගට වැඩ කරනවාය ඇය
එක දිනක් සුගත් ළග මල් මහනවාය ඇය
හිටි වනම තව දිනක් සුගත් දක්නට නැතිය
දැන් පුංචි ඇඳුමකට මල් මහනවාය ඇය.

Friday, June 8, 2012

නගරයේ කතාවක්.

දිළිඳු උපන්නේ නගරයෙ කානුවක
දිළිඳු කමට ඉපදුන අවජාතක පුතෙක
ඉසුරු ඉසුරු කියමින් කඩපිල් කොනක
මවක් යදී සිඟමන් දරුවකු ඇකෙක

''ඔහෙලගෙ රුපියලින් බඩ පිරෙනව මාත්තයා
දරුවට කිරි ටිකක් හය මස් අනාථයා''
යන එන මගියකුගෙ හදවත උගස් තියා
රුපියල් යදින්නිය දරුවෙකු ගැනම කියා

උදේ හවස බස් රථවල නගින්නියා
රෑට ගිහින් කඩ මුල්ලක ලගින්නියා
සෙනෙහස විකුණ රුපියල් සත ගණින්නියා
දරුව එක්ක සිඟමන් යන සිඟන්නියා

පියෙකු නොමැති පිය සෙනෙහස අහිමි පුතා
සෙනෙහස නැති මවු උකුළක රැඳුන පුතා
අඬා කාසි ඉල්ලන්නට උපන් පුතා
නුවර කොනක ඉසුරු හොයන දිළිඳු පුතා.

Wednesday, June 6, 2012

ජීවිතයකට පුළුවන්ද අමරණීය වෙන්න?

අයින්ස්ටයින්,
මට ඕනා ආලෝකයේ වේගය
ඔරලෝසු කටුවක් හදනවාද
ආලෝකයේ වේගය සහිත
එල්ලී යන්න මට.

දන්නවාද නුඹ වේගය රැවුල් ගසක
බැරිද කළුවට තියාගන්න සදහටම කේශර
වයසක් තියනවද නළල් රැල්ලකට?.

බැරිවුනිද නුඹට වැඩිපුර ඉන්න
ජීවිතය මන්දනය කර රදවාගන්න
නිවැරදිය මිතුර නුඹ
වේගවත්ය මේ හිත
ආසන්නය ස්කන්ධය අනන්තයට.

මලකට පුලුවනිද පරනොවී ඉන්න
ජීවිතයකට පුළුවන්ද අමරණීය වෙන්න?.

පිහාටුවක සැහැල්ලුව දෙන්න.

මට ඕනා ඇයට කිති කවන්න
පිහාටු කෙන්දකින්.
ඇය හිනාවෙනකොට
මූහුණ දිහා බලාගෙන ඉන්න

පිහාටුවක නැගලා
ඇය එක්ක ඇවිදින්න
තටු ඇඳක ඇය සතපවන්න

පිහාටුවක් හිසහි දවටන්න
ඇයත් කිරිල්ලක් කියන්න
ඉගිලෙන්න හැකි බව කියන්න
හිතට තටු සවි කරන්න

පිහාටු කෙන්දක් ගලවා
ප්‍රාර්ථනාවක් කරන්න
ඉගිලෙන්න වරම් දෙන්න
පිහාටුවක සැහැල්ලුව දෙන්න.