Thursday, December 27, 2012

මහතුනි මදක් නවතින්න.

නුවර එළිය - හැටන් මාර්ගයේ ශාන්ත ක්ලෙයාර් ඇල්ල ඉදිරිපිට
මැදිවිය ඉක්මවූ පුද්ගලයෙක් දිය ඇල්ලේ සිතුවම් ඇද අලෙවි කරයි.

මහතුනි මදක් නවතින්න
අන්න අර කන්දෙන් පහළට
ගලන්නේ ජීවිතය,
සල්ලි කොළ කිහිපයක් අරගෙන

නාය යන ජීවිතය
බර වැඩි හෙයින් දෑතට
වෙව්ලීම් තිබුණත් නිතරම
පිංසල් පහර තරුණයි තවම

ඉරටු අමුණා එකිනෙක
දී නෙක වර්ණ
සිත්තම් කළත් ඒ මත
ඉර මට දුන්නෙ කළු පාට

ඒ කළු පැහැය උඩ
නෙක නෙක වර්ණ තවරන
බිරිඳ දරුවන් එක්කම
අමිල වූ සිතුවමක්   
හදවතහි ඇදී ඇත
එතැන,
ජීවිතය ඇරඹෙන තැන

එහෙත් මහතුනි,
මේවා ඇත ලාබෙට
එකක් අරගෙන යන්න
පුංචි මිල සිතුවමක්.

Saturday, December 1, 2012

කිමද ඔබ නිහඬව?.

නිහඬබව කොඳුරයි
ඔබේ හඬින් මට
අසයි මගෙන්
කිමද ඔබ නිහඬව?

"මම නිහඬ පෙම්වතෙක්
නිහඬ බවින් උපන්
නිහඬව ප්‍රේම කරන"
කියමි මම නිහඬ බවට

එහෙත් ඇයි ඔබ නිහඬව?

ජනෙල් පියන් අතරින් පෙනෙන
මලකි ඔබ වාගෙම
හැගේ මට
හැගීමක් මලෙක

"පැණි කුරුල්ලනි ඇයි
කෑ ගසමින් ඔය හැටි
ප්‍රේමයද ඔය උතුරන?"

මමත් කෑ ගසමි
මහ හඬින්
නොඇසෙන්නට නුඹට
මලෙකි මම
පෙම් කරන නිහඬව

එහෙත් පැණි කුරුල්ලනි
නිහඬ නොවන්න තොප!

Tuesday, November 27, 2012

තාත්තා යන්න ගියාලු මාව අම්මට දීලා.

මම ගොඩක් පුංචියිනෙ තාත්තේ එතකොට
තාත්තගෙම හැඩහුරුකම තිබුණට
දන්නෙ නෑ මම
තාත්තා කොයි වගෙද කියන්ට

අම්මනම් කියුවෙ
තාත්තා යන්න ගියාලු
මාව අම්මට දීලා
මගෙ ඇස් ඇරෙන්න කලින්ම

මතක්වෙන හැම වෙලාවකම
මගෙ පපුව පිච්චෙනව තාත්තෙ
තාත්ත ගියා කියල
මම ආව වරදට

ඇත්තමයි
අම්මත් ආදරේ කරන්න ඇති මහ හුඟක්
ඒ නිසාම වෙන්න ඇති
තාත්තා ගැන අහනකොට
අම්මාගෙ ඇස්වල කඳුළු තිබුණෙ

එදා වගෙ නෙමෙයි තාත්තෙ
මමත් දැන් හුඟක් ලොකුයි
අම්මත් තාත්තා එනකම් බලන් ඉදලා
ඇස් පියාගෙනත් ගොඩක් කල්

ඒ වුණත් තාත්තෙ
මාව බලන්න නාවට කමක් නෑ
අම්මාට එළියක් වෙන්න දැන්වත්
ඉටි පන්දමක්වත් ගහන්ට.

එහෙයි! භාවනාවකි එය.

එහෙයි!
භාවනාවකි එය
දැහැනකි
මගහැරුණ කමටහනින් ලද

දැනෙයි
ඇතිවග
දිගු හුස්ම
කෙටි හුස්ම

වැටහෙයි
ඔබ හිඳිනවග
එතැන

හදවතේ රාවයට කන්දෙමි
පාළුවක හඬද එය?
උණුහුමක් ඉල්ලා හඬන
ඔබ

සොඳුරිය,
එන්න මේ දැහැනට
කියන්නට
බොහෝ දේ ඇත.

Sunday, October 21, 2012

අක්කාගේ විවාහ සංවත්සරය.

මූණ පුරා පෙම් පාට තවරාන
ඉහේ මලක් රදවාන
ප්‍රේම මාලිගයේ උලුඅස්සට බරදී සිට
කිමද කාරණය නුඹට අද
සිනා මුහුණු පලදින්ට

ඔහු එදා පලන්දපු මුදුව
අදත් දිලිසෙනවා නොවෙද
එදාටත් වඩා වැඩියෙන්

" අනේ රන්කඳ
මටත් තියෙන්න ඇති පින් කඳක්ම
ඔයාගෙම වෙන්ට
ඉන්න ඇති නේද
මීට ඉහතත්
නොයෙක් කුලවල
මේ විදිහටම"
හිතෙනවද එහෙම නුඹට?

රජ මැඳුරක් නොවුනාට නිවහන
කුස්සියේ ඉදෙන බත්කටකින්
හිත පිරෙනවා නේද හැමදාම
ප්‍රේමයේ රස මුසුවෙලා ඇති
ඒ හින්දමයි ඔයතරම් රස
මට හිතෙනවා එහෙම

නිතර නිතර හිත පුරවන
කුරුලු පිහාටුවකින් කිති කවා යන
මිස් කෝල් එකක් වගේ නේද ඔහු
නිතරම හදවතින් ඇමතුම් ඉල්ලන

පෙනේ මට සලකුණු යමක්
නුඹේ මුහුණින්
ඇස්වලට පහළින් කඳුළු පිසින ලද
ඊටත් මදක් පහළින්
සිනාවක් එල්ලුව
ඒ ඔහුද?
වසරකට පෙර මුදු මාරු කල දින.

නුඹ තරහවුණු මොහොත පළමුව.

ඒ සොඳුරු රිදවීම
නුඹ තරහවුණු මොහොත පළමුව
සඳ තරුත් නිවී තිබුණා

හිතටවත් නොතේරෙන
මොකක්දෝ අඩුවකින්
හිත පිරී තිබුණා

දැන දැනත් පෙර ලෙසම
නැවත ලං වන බව
නිදි යහන නපුරු වී දැනුණා

නින්දත් නොනින්දත් අතර
පාට බොඳ සිහිනයක් අස්සෙ
නුඹව, මට පෙනුණා

මටත් නොකියාම විත්
ඇහි පිල්ලමක් යට
නුඹ ඉන්නවා දැනුණා.

මහ වැස්සකට වැඩි බර කඳුළු බිංඳුවක් මම.

ඇහි පිල්ලමක සෙවණින් යන
නන්නත්තාරව ඇවිදගෙන
මහ වැස්සකට වැඩි බර
කඳුළු බිංඳුවක් මම

වස්සානයේ අවදිව
ඇදහැලෙන සිතිවිලි වැස්සකට
ඉඩදී අතැර යන
කඳුළු බිංඳුවක් මම

යන්නයි කීවාට නිතරම
එළවන්න දුක නැතිද ඔහොමම
හිනාවකට ඇයි බැරි කියන්න
''තව ඩිංගක් රැදෙන්න ඔබ''

කඳුළු බිඳුවක් වුණාට ලුණු රස
හදවතක් තියනවා දැනෙන
සිතිවිල්ලකට බැරි ඇයි
හිනාවක් ගෙන එන්න?

ඒ නුඹ.

වෙනදාටත් වඩා කළුවර රාත්‍රියක
සිරගෙයක් තුළ ගෙවමි
ගුළිවෙන්න වෙරදරන ජීවිතය

ඇවිදවිත් මඟ හසර නොදැන
ප්‍රේම මාවත දිගේ අන්ඳව
නැවතී බලා හිඳිමි
තෙරක් නොපෙනෙන තැනිතලාවක

සිනාවක් ගැන
කලකට ඉහත මගහැරුණ
මතක් කරමින් සිනාසෙමි
කඳුළු සැඟවෙන්ට

හදවතේ කුටියක දොර වසාගෙන
බෙරිහන් දී
කම්පනය කරන මතකය,
ඒ නුඹ
තවමත් ලැගුම්ගෙන.

ගලා යමු අපි අත්වැල් පටලාන.

සොඳුර,
ඉර මිය යමින් ඇති මොහොතක
රනින් සැරසුණු වලා යුවලක්
විය හැකිය අපට

සොයා යා යුතුය අපි
උසම කන්ඳ.
මා ඔබ වෙනුවෙන් ලියූ කවිය
තියෙනු ඇත
ඒ කන්ඳ මුදුනත.

ගඟක් වෙමු අපි
ඇදහැලෙන
ඒ කන්ඳ මුදුනින්
"ගලන ගඟකි ජීවිතේ"
ගයමු අපි ගීයක්
ඇසෙනු පිණිස
කටු පඳුරු,
ගල් කුළු වලට
අතර මඟ හමුවන.

සිනා සෙමු අපි
වන තුරු මුල් අතරින්
අප වෙත ඇවිදගෙන එන
සිහින් දිය දහරාවන් සමඟ

ගං ඉවර අසබඩ
සුවඳැති,
මල් පිපුණු ගසකින්
වැටුණු මලක් අහුලාන
පුදන්නෙමි නුඹට.

ගලා යමු අපි අත්වැල් පටලාන
දිය රැළිති පය තබමින්
සොයමින් ලෝකය.

නුඹ සිනාසෙනු ඇසේ මට.

නිශ්ශබ්දතාවය ඉකිබිදියි
සිත චංචලව අන්ඳයි
වස්සානය මතක වැහි වස්සයි
නුඹ නිහඬවම මන්දැයි

පිහි තුඩින් ඇන හෝ රිදවන
වචනයක් දෙකක් ළග තියනවද
කඳුළු බිදක් වුව දෙබෑකර
තව දැකිය නොහැකිය නුඹ, මට

හදවත් හන්දියක තදබදව සිතුවිලි
ඝෝෂා නළා හඬ ඇස්වලට රිදවන
සඳකට පුළුවනිද නෑවිත් ඉන්න
කදෝකිමි එළි සෑහේද ලොවකට

ලෙන්ගතුව බැඳුණු හිත් දෙකකට
නිහඬබව ඇල්පෙනිති තුඩකි හදවතට
සිනා හඬ පිරුණු උයනක
නුඹ සිනාසෙනු ඇසේ මට.

Wednesday, September 5, 2012

නන්නාඳුනන කෙනෙකි ඇය හඳුනන.

මිතුදමකි,
විරල කුලකයක
සිත මත
මකරන්ද තවරන
නන්නාඳුනන
කෙනෙකි ඇය
හඳුනන.

සදකි,
සඳ දිය
ගලන
පෙම් කරන
රැහැයියනට
ඇට්ටේරියා මලකි
තනිවම පිපුණ
පිනි බිඳක්
විය හැකිද
මට?

සරතැස සමග
කවටකම් කරන
සුසුම්
සිනාකර හෙලන
දිය කර
වර්ණ
කඳුළින්
හැඩකරන 
ජීවිතය

වචනවලින්
ඉඳහිට අනින
කිති කැවෙන
මහප්‍රාණ ලෝකයක
සමනල තටුවලින්
ඉගිලෙන
බර යකඩ
කිලෝවක්
පුළුන් සේ දකින
කිලෝව ගැන
නොසිතන
නන්නාඳුනන
කෙනෙකි ඇය
හඳුනන.

කිමෙක්ද මේ දැනෙන තනිකම.

වලාකුළු තිබුනත් වැහි පොදක්වත් නැති දවසක
කිමෙක්ද මේ දැනෙන තනිකම
රාත්‍රිය දෝතින්ම රැගෙන කළුවර
අඳුර කැන්දනවාද හිතකට

ලබ් - ඩබ් හඬ දෙමින් තත්පරය
ඉක්මන් කරවන අයුරුය හදවතහි හඬ
සයනයහි අයිනක බිත්තියක් සිපගෙන
සතපවන්න හැකිනම් ජීවිතය නොනිදා නිදන

කටු පඳුරු හෝ උපන්නේනම්
ඉරි තැලුනු වියල ගිය පොළවකද
නොහැකිද උපදින්න මලකට
ජල හිග කතරක වුවද බඹරුන් ලොබ කරන.

සිගරට් දුමක්.

සිහින් සිගරට් දුමකි
ඇනිකට්ටුව අතරින් මතුව එන
බෝතල් කිහිපයකි 
ගල්තලාව මත විසිරුන

අලුත පෙති විකසිත
නෙළුමකුත් ඔසවාගෙන
කොකුන් රෑනකි
දිය නාන්නට සැරසෙන 

අනුන් කුණු සෝදන ජලය
ශබ්ද නොනැගෙන පරිදි
විසල් අඬි නොතියාම
ගලා යන්නේය හෙමිහිට.

Monday, August 13, 2012

රූපලාවන්‍යගාර කවි.

රන් වන් පාටින් දිලිසෙන රූපය
වත්සුණු තවරා හැඩකල රූපය
නෙක නෙක පාටින් හැඩවුණු රූපය
කාසි හොයන්නට අතගෑ රූපය

කුණු දූවිලි පිරි හිස කඳ මුහුණය
කබ කඳුළින් හැඩි වී ඇති දෑසය
අත් පා නියපොතු නොසේදු ගානය
හැඩවුණු පසු ඇති දිලිසෙන රූපය

ගමේ ඉඳන් රැකියාවට ආවා
සැලොන් එකේ ජීවන බර තැබුවා
කුරුලෑ දහදිය නිති අත ගෑවා
දහදිය දාගෙන අපි වැඩ කෙරුවා

ඇතුල් කාමරේ "මැඩම්" සිටින්නේ
කැඩපත අයිනේ අපයි සිටින්නේ
නෝනල මහතුන් නිති හැඩ වෙන්නේ
ගමේ පවුල ඉන් ජීවත් වෙන්නේ

වැඩ වැඩි දවසට රෑටත් එන්නේ
උදේ පාන්දර ඇවිදින් යන්නේ
වෙලාව නොබලා වැඩයි කරන්නේ
බැරිවුණු දවසට බැනුම් අහන්නේ

නෝනල නිතරම එනවා යනවා
මහතුන් ආවොත් නම් වද දෙනවා
හිස කද නියපොතු නිති හැඩ වෙනවා
කොමිස් එකෙන් අපි ජීවත් වෙනවා.

Thursday, August 9, 2012

පඬිපත.

''ජීවිතය කොහෙද මිතුර ?
ඇතිද මාසික පඬිපත
දිනයකට?''

මදිය!

''පොඩියකට
අඩියකට
ලෙඩකට
දුකකට?''

මදිය!

''එළියකට
වලියකට
මගුලකට
හරියකට?''

මදිය!

''පාළුවට
කෙල්ලකට
ආලෙකට
මාලෙකට?''

මදිය!

''මිතුර,
අපි බැංකුවක් කඩමු
වංගුවක් දිගේ දුවමු
කන්දක බලාපොරොත්තු ගොඩ ගහමු
කන්දක හීන දකිමු
බංකුවක ඉදගෙන සිල්ලර ගණිමු
දාහේ කොළයකින් මොනර පිහාටුවක් ගලවගෙන
කතරගම දෙයියන්ට පුදමු.''

Monday, August 6, 2012

ඇය.

බිම් මළුවේ පහන් වැට ළග සිටින්නීය ඇය
උඩ මළුවේ මල් තියාන හිඳින්නේය මම
බිම් මළුවේ හඳුන්කූරු පුදන්නේය ඇය
උඩ මළුවේ හිත තියාන දැවෙන්නේය මම

නියත විවරණ මිතුරියගෙන් අසාගෙන
හිඳින්නේය සතර පෙර නිමිති බලාගෙන
ප්‍රේමය උපදින්න පස් මහ බැලුම් හිතාගෙන
සංසාරයෙන් ආවෙමි ඇය පතාගෙන
සුදු පාට වස්ත්‍රයෙන් වැහුනට
කැරලි ගසමින් ඇත රතුපාට රුධිරය
ලේ වලින් මස් වලින් සැදුනට
හිත පුරා දැනෙනවා ප්‍රේමය

ගස් උඩින් එබෙන විට සඳ
සඳවතිය දිළිසෙමින් ඇතිවිට
එක් තැනක රැදවිය හැකිද හදවත
ප්‍රේමයෙන් සිල් ගත්ත හිතකට ?.

රදවා ඇය ළගම හදවත
සොයන්නෙමි නිවන
ඇගේ නම රදවා භාවනාවක
සොයන්නෙමි නිවන

බුදු කුටිය සජ්ජායනා නැගෙන
හිත කොහිද කමටහන් මග හැරෙන
හිත මතට මදුවිත නැතිව මත්වුණ
සඳවතිය ගෙනෙනවද නිවන ?.

Friday, July 20, 2012

සිරිසේන.

දවස පුරාම
ගල් මෝලෙ ගල් කඩන
ගල් උස්සන
ගල් හිතක් තියනවයි කියන
ගල් වලේම උපන් සිරිසේන
හැමදාම හවසට
ඇගපත ඩිංගක් රත් කර ගන්න
හිස් ගල් බෝතලයකුත් ඉණේ ගහගෙන
මූකළන් වත්තට බඩගාන ගොහින්
ආපසු එන්නේය
බෝතලය අඩක් පුරවාන

ගොම්මන් කළුවර එනතුරු
බලාගෙන
ගොම්මන් කළුවරත් එක්ක
හිඳගෙන
හිස් කරන්නේය හේ
බෝතලය

ඉතිරි කාසි කොළ විපරම් කර
අතක ගුලි කරගෙන
හෙමිහිට
සිහිකරන්නේය දරුවන්
සිහිකරන්නේය බිරිඳ

හන්දියේ කඩපිලට
ගොඩවැදී අතරමග
නිතරම බලා
පිසූ ආහර දෙස
මිලට ගන්නේය ඔහු
ආප්ප-කොත්තු
රෝල්ස්-පැටිස්
කාසි කොළ හිස්කර

දරුවන් ගැන වචනයක්
දෙකක්
තුනක්..
බිරිද ගැන වචනයක්
දෙකක්
තුනක්..
අල්ලාප සල්ළාපයෙහි යෙදී
රෑ දෙගොඩහරිය දී
පිටත්වන්නේය ඔහු
නිවසට

කුස පුරවාගෙන දහවල් යාන්තමට
රාත්‍රී රස බොජුන් බලා හිඳ
නිදන්නේය දරුවන්.
හූල්ලනු ඇසේ බිරිඳ
වේවැල් කැඩුණු පුටුවක හිඳ

ගොඩවදින සිරිසේන නිවසට
සිනාමුසු මුහුණින්
තබා රජ බොජුන් බිරිඳ පාමුල
වැටෙන්නේය නින්දට.

Monday, July 16, 2012

ගෝල් ෆේස්.

අරන් එන්න එක පොප් කෝන් ගොටුවක්
පුංචි රුපියල් විස්සකට
අන්න අර පේන බංකුවේ ඉඳගෙන
එකින් එක අහුලන්න

පේනවද අර මුහුඳ
දුවගෙන එන රැල්ල,
වෙරළ සිප වැළඳගන්න

සුළග එක්ක යන්න හදන සරුංගලය
පොඩි එකාට රවනවා නේද
නූලක ගැටගසා රඳවා ගත්තාට

මුහුදෙන් ගොඩට ආපු ඉස්සො රංචුවක්
තෙලෙන් නාලා සැරසීගෙන
උදර කුහරයකට රිංගන්න බලාගෙන

කොල්ලන්ගෙ අත ඉන්න
අයිස් ක්‍රීම් ගොටු වලට
ඉන්න බැරුවම එක විදිහකට
පෙරි පෙරී බිමටම

පහන් කණුවක සෙවනැල්ල
තවත් පහන් කණුවක් අල්ලන්න සුදානම
තව වෙලා තියනවා දැල්වෙන්න
හැකියි තව ටිකකින් ළං වෙන්න

හොදටෝම දැනෙනවා ඇති රස්නය
කෙරවලක පඩියක් උඩ
තටු ගහන කුඩයක් යට
ගුලි වෙච්ච පෙම් යුවලට

තල්මසුන් ඉන්නවද නැව යට
පිට කසා ගන්න රැස්වෙන
කුරුල්ලන් කැමතිද
නැවත් එක්ක ඉගිලෙන්න

පොළවටත් පුලුවන් නේද
අහස ළගටම යන්න
ඈත කෙළවරක පේනවද
අහස - පොළව එකට.??

අම්මා නැතිවුණා සර්.

හෙට උදේම ගමේ යනවා
සඳුදා නෑ තමයි එතකොට
යන්නම එක දවසක්
අනිද්දාට එන්න බෑනෙ

මැෂිමේ පාදයට
රෙදි කැබල්ලක් තබන අතරතුරම
හිනැහුනා ඇය.
මා දෙස යටැසින් බලා
නැවතත් සිනාවිය
ජීවිතය එක්ක
මැෂිමත් සමග මැහෙන.

'' හඃ
හදිසියෙම !
කල වයස වයස නොවැ
මනමාලයෙක්වත් එනවද?''
හිනැහුනා මම
හිනැහුනා ඇය.

මොහොතක්ය ගතවුණු.
ඈ අඬන්නිය
මැෂිමට කඳුළු හෙලන්නිය.

''අම්ම නැතිවුණා සර් ගියමාසෙ
හත් දවස දුන්න ගමන්
මම ආයෙ වැඩට ආවා
රස්සාව වටිනවා.

සිල්ලර හොයන්නිය
ගෙදර බර දන්නීය ඇය
හඬන්නීය
ජීවිතය මහන්නීය.

Wednesday, June 27, 2012

බිරිඳක් කියන කවි.

උදෑසනම ගෙදරින් යන සැමියානෝ
හවස් වෙලා ආපසු එන සැමියානෝ
ටීවි බල බලා බත් කන සැමියානෝ
අහක බලාගෙන නිදියන දෙයියානෝ

කන්න ගියා බොන්න ගියා මම නොදනී
ලෙඩක් දුකක් හැදෙන්නෙපා නුඹ නොදනී
ඒ කාලෙදි හචින් ගියා දෙදෙන දනී
කඳුළු ගියා උන්නා හැටි මතක් වුණි

උදේ රැයින් සිදුවෙනවා උයන්නට
දවල් තනිය බෑ හිමියනි දරන්නට
එදා වගේ ඇයි බැරි වුණෙ සිටින්නට
මෙදා ජීවිතේ තිත්තයි ගෙවන්නට

ඉස්සර හිටියෙ මගෙ වස්තුව කියාගෙන
මුහුණ පුර මඳ සිනහව පුරෝගෙන
නොසරුප් වචන මට වෙන්කර තබාගෙන
ඇයි හිමියනි දැන් ඉන්නේ ඔරෝගෙන

කඳුළු මිසක් නෑ නිරතුරු හිනාවන්
දෙන්නට ඇයි මෙහෙම වුණේ කියාපන්
එදා වගෙම ආදරේද අසාපන්
නොබැඳ ගෙදර සිටීම වාසනාවන්

පෙකනි වැලේ එල්ලී ඉන්නා පැටියා
හවස ඇවිත් තතු අහනා තුරු හිටියා
මනාප ඇති කෑම ජාති නැති සැටියා
නාඬා ඉතින් නිදපන් මගෙ රන් කැටියා.

ඇගිනස්.

ගමේ අරක්කු ගෑණි
ඇගිනස්
වට පිට බල බල
පදුරක් හොය හොය
කසිස්පු හංගන
උස මහත ගෑනි ඇගිනස්

බීලම මැරුණු
කසිප්පු සිරිදාසගෙ
රැකියාව බාරගත්ත ඇගිනස්

ප්‍රධාන ගැනුම්කරු
ජයදේවව
තමන්ගෙ ගෙදරම
බින්න බස්සගත්ත ඇගිනස්

සල්ලි පොලියට දුන්න
කසිප්පු මුදලට දුන්න
පිරිමියෙක් වගේ ඉන්න
කසිප්පු ගෑනි ඇගිනස්

වීදුරු සෙට්
රීදී මාල වලලු
කසිප්පු වීදුරුවට හුවමාරු කල ඇගිනස්

ගැනුම්කරුවන්ගෙ ඇස් වලට
ගොරක මද ඇල්ලවූ ඇගිනස්
තැරැව්කරුවන්ගෙ අත්වලට
කොමිස් මුදල් දුන් ඇගිනස්

නිතරම පොලිසියෙන් ගෙන්වන
අරුක්කු බෝතල්ම පෙන්වන
කසිප්පු බෝතල් විකුනන
අල්ල ගන්න සාක්ෂි නැති ඇගිනස්

හවස හය වෙනකොට
ඉස්තෝප්පුවෙ ඉඳගෙන
බණ පොත ඇරගෙන
ගමටම ඇහෙන්න
බණ පද කියන ඇගිනස්

පවුල් පිටින් අරගෙන එන දොස් අහන
අවුල් වෙච්ච පවුලක් ගැන නොම සිතන
ඉදුල් වෙච්ච කය නිතරම පිට දුවන
හවස් වරුව බිම ඉඳගෙන යන නිවන

පෝයට සිල් ගන්න ඇගිනස්
හාමුදුරුවො කියන විදිහට
''සිල්වත් උපාසිකා මාතාව'' ඇගිනස්.

Monday, June 25, 2012

නුඹ සහ මම.

සිතුවමක් අලවා ඇත
කැඩපතහි එක් කොනක
නුඹ තනිව සිටින

මම තනිව සිට
කැඩපතින් බලන විට
මට දැනේ
තවමත් සිටින වග
අප දෙදෙන එකට

නුඹ සිනා වී සිටියි
එදා අයුරින්ම
මමද සිනාසෙමි.
මා ළග පමණක්
නුඹේ සතුට
තිබෙන බව කීවා මතකය.

දැන් මා හඬමි.
නුඹ තවම සිනාසෙයි.

Thursday, June 21, 2012

සඳ ගමන.

අපි දෙන්නා හිටියෙ දවස් ගානක් රන්ඩු කරලා මුහුණු එල්ලගෙන. එක දිගට වැගුරුනු කඳුළු බිංදුව බින්දුව එකතු වෙලා විශාල කඳුළු ජලාශයක් හැදිල තිබුනා.දවස් ගානක් වැගුරුනු කඳුළු නිසා අපි දෙන්නාම ගොඩාක් දියවෙලා දියවෙලා ගිහින් පුංචි කුරුමිට්ටන්ගෙ ප්‍රමාණයටත් වඩා කුඩාවට පත් වෙලයි හිටියෙ. ඒ නිසාම කඳුළු ජලාශය කෙලවරක බිම එලලා තිබුන ලේන්සුව අපි දෙන්නටම  හොද සැප පහසුවට ඉඳගන්න තරම් ඉඩ ප්‍රමාණවත් උනා.

වෙලාව ඇති උදේ දහයට විතර. ඇයව අත හැරලා දාලා යන්න පුළුවන්නම් කියලා මට හිතුනා. රෑ පායපු හඳ ආපහු යන්න අකමැත්තෙන් ඒ වෙනකම්ම අහසට වෙලා හිටියා ඉර ඇවිදින් පන්නනකම්ම. ඇයව විතරක්ම නෙමෙයි රන්ඩු වලට හේතුවෙන මේ මුළු ලෝකෙම අත හැරලා හඳටවත් යන්න පුලුවන්නම් කියලා මම කල්පනා කර කර හිටියෙ. ඔන්න ඔය වෙලාවෙ තමයි දේදුන්න පායන්න පටන් ගත්තෙ. දේදුන්නෙ එක කෙලවරක් අපි ඉඳගෙන හිටපු ලේන්සුවත් අනික් කෙලවර හඳ දක්වාත් දිගු වුනා.

මම සෑහෙන්න උත්සාහ කලා දේදුන්න දිගේ නගින්න. ඇය පැත්තකට වෙලා බලා උන්නා මිසක් මම යන ගමන වලක්වන්න කිසිම උත්සාහයක් ගත්තෙ නැහැ. ටිකක් වෙලා යනකොටයි තේරුනේ මට, දේදුන්න දිගේ ඉහලට නගින එක හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි කියලා. මම තව තවත් හෙම්බත් උනා විතරයි.  

හිටපු ගමන් සුළඟක් හමන්න පටන් ගත්තා. මගෙ මහන්සිය නිවන්න ආපු සුළඟ ගැන මට හරිම ලොකු බැදීමක් ඇති වුනා. ඒත් එක්කම සුළඟ එක්ක ටිකෙන් ටික මගෙ මහන්සිය අඩු වෙන අතරෙ මට දැනුණා සුළන් පහර ටිකෙන් ටික වැඩිවෙන බව. සුළන් පහර ටිකෙන් ටික වැඩි වෙලා අනිතිමට ඒක තරමක් විශාලව හමන්න ගත්තා. මට දැනුනා අපි හිටපු ලේන්සුව දැන් තියෙන්නෙ පොළවට උඩින් කියලා. ඇය පුදුම වෙලා මගෙ දිහා බලාගෙන හිටියා. අපි හිටපු ලේන්සුව අපි දෙන්නවත් අරගෙන  ටිකෙන් ටික ඉහලට යන්න ගත්තා.

මම පොඩි කාලෙ ඉදන් ආස කලේ ඉහලට යන්න. ඒ තමයි මම  ඒ තරම් ඉහලකට ගිය මුල්ම දවස. උසයි කියලා හිතාන හිටපු පොල් ගස් වල කරටි වලටත් ඉහලින් අපි දෙන්නා හිටියෙ. ටිකෙන් ටික විශාලව පෙනුන පොල් ගස් වල කරටි එන්න එන්න කුඩාවට පේන්න පටන් ගත්තා. අපි තව තවත් ඉහලටම යන්න ගත්තා. අපිට පහලින් තිබුන ගෙවල් එන්න එන්නම කුඩා වෙලා නොපෙනිලා ගියා.

ඊට පස්සෙ අපි හිටපු ලේන්සුව තවත් උඩ යන එක නැවතුනා. ඒ වෙනුවට අහසෙ ඒ මේ අත පා වෙවී තියෙන්න පටන් ගත්තා. ඔය විදිහට අපි දින කීපයක්ම පාවුනා. මට ඕන උනේ හඳට යන්න. ඒ වෙනකොට මට බලාපොරොත්තු සුන් කරගෙනයි හිටියෙ. මම දුක් වුනා. ඒත් එක්කම එක පාරට මට දැනුනා මාව සැහැල්ලු වෙනවා වගේ. මගෙ අත් වලින් පිහාටු එක දෙක ලියලන්න පටන් ගත්තා. ටිකෙන් ටික මගෙ අත් දෙක අත් තටු දෙකක් බවට පත්වුණා. මම කුරුල්ලෙක් වුණා.

මම ගොඩක් සන්තෝස වුණා මම කුරුල්ලෙක් බවට පත් වීම පිලිබධව.. මට දැන් ලේන්සුවෙන් ඉහලට පියඹා යන්න පුළුවන්. මට දැන් ආපහු හඳට යන්න පුළුවන් බව මට දැනෙන්න ගත්තා. මට ලැබුන තටු වලින් යන මුල්ම ගමන. මම පියෑඹීම ආරම්භ කලා. ඒත් එක්කම මට දැනුනා මගේ සැහැල්ලු බව තරමක් අඩු වුනා වගේ. ඇය මගේ ශරීරයේ එල්ලිලා හිටියා. ඇය ආයාචනා කරන්න ගත්තා ඇයවත් රැගෙන යන ලෙස. ඇයගේ දීර්ග ආයාචනය නිසා මම තීරණය කලා ඇයවත් රැගෙන පියාඹන්න.

මම ඇයවත් කරේ තියාගෙන දවස් කීපයක් තිස්සේ පියෑඹුවා. වලාකුළු අතරින් මම පියෑඹුවා. වැහි වලාකුළුවල තියන තරමක් විශාල වැහි බින්දු මගේ ශරීරයේ වේගයෙන් වැදිලා දෙන වේදනාව නොතකාම මම ඇයවත් රැගෙන පියෑඹුවා. ඒ වෙනකොටත් අපි දෙන්නට හඳ අසලකටවත් ගිහින් ඉන්න බවක් දැනුනෙ නෑ. මට දැනුන එකම දෙය හඳ අපෙන් තවත් ඈතට ඈතට යන බව විතරයි. ඒ මගේ ඉතුරුවෙලා තිබුන අන්තිම ශක්තිය කොටස. ඒකත් ඉවර වුණා. අපි හඳ ආසන්නයකටවත් ඇවිත් හිටිය් නැහැ.

මගෙ බලාපොරොත්තුව සුන් වුණා. මට හොදටම ඇඩෙන්න ගත්තා. මම ඉකි ගහ ගහ ඇඩුවා. ටික වෙලාවකින් මගේ ඇස් පියවුනා. මට නින්ද ගියා. මම ඒ විදිහට කොයි තරම් කාලයක් හිටියාද කියන්න මම දන්නෙ නෑ. හවස් වරුවක මට ඇහැරුනා. ඇය මා අසලටම වෙලා මගේ හිස අතගාමින් හිටියා. මට දැනුනෙ හරිම මෘඳු බවක්. ඇය මගෙ දිහා ලොකු බලාපොරොත්තුවකින් වගේ බලාන හිටියා. හඳ එළිය ඇයගේ මුහුණට වැටිලා ලස්සනට දිලිසුණා. මට දැනුනා මම හඳ අසල ඉන්නවා වගේ.

Monday, June 18, 2012

ලෙච්චමී.

උදේ කහට කෝප්පයත් නොබී
තේ දලු කඩන ලෙච්චමී
දැක්කම හිතේ මලක් පිපෙන්න
සිරියාවන්ත හිනාවෙන් පිරුණ ලෙච්චමී

තේ දලු නෙලන්නිය ඇය
කහට ජීවිතයට
සීනි එක්කරන්නිය ඇය
තේ දලු මල්ල ඔසවගෙන
හිත සැහැල්ලු කරගන්නීය ඇය
තේ දලු කප්පාදු කර
ජීවිතය ලියලවන්නීය ඇය

තේ ගස් වලට පොහොර දමන්නිය
ඩා බිඳු, පවුලකට පොහොර කරන්නිය
කෙසඟ සිරුරකට හිමිකම කියන්නිය
පිරුණු සරීරෙක ශක්තිය තියෙන්නිය
කඳු දිගේ නගින්නිය
හීන කන්ඳක් දිගේ යන්නිය

සවසට සැමියාට සීනි තේ හදන ඇය
දරුවන්ගෙ හිස පිරිමදින ඇය
දරුවන්ට අකුරු කරවන
අකුරු නූගත් ඇය.

එහෙනම් එන්න මේ පැඳුරට.

එහෙනම් එන්න මේ පැඳුරට
අපි ආදරේ කොඳුරමු.
අන්න අර පේන ටකරන් තහඩුවේ සිදුරෙන්
අපි හඳ බලමු.

හඳ මාමේ අපිට
කිරි පැණි දෙනවාද අහමු.
සඳ වගේ මූණ තියන
පොඩි එකෙක් හදමු.
පොඩි එකාට
කිරි පැණි කවමු.

ගේ ඉස්සරහ
කොස් ගහෙන්
තුන් වේල කොස් කාල
උණුම උණු ප්ලේන්ටියක් බොමු.

ඉදල හිටල දවසක
හංදියේ පෙට්ටි කඩෙන්
උලුඳු වඩයක් කාල
කිරි කෝපි එකක් බොමු.

වේවැල් කැඩුන පුටුව උඩින්
කොට්ටයක් තියමු.
කුෂන් කල පුටුවක්ය කියමු.

හවසට මූණට මූණ බලාගෙන ඉමු.
මූණෙනුත් හඳ දකිමු.

Thursday, June 14, 2012

දම්මිගේ කතාව.

සුගත් අත වනනවා හැමදාම
දම්මි වැඩ ඇරලා එනකොට
රේන්ඳ අල්ලනවා ප්‍රේමයට
දම්මි නිමි ඇඳුම් මහනකොට

රෝද දෙකේ අස්සය පිට
හවසට එන කුරුල්ලාය
ගාමන්ට් දොර ඇරෙනා තුරු
මග බලමින් සිටින්නාය.

ඉදල හිටල ටින්කර් වැඩ කරපු සුගත්
අප්පෙක් නැති, අට පන්තිය පාස් සුගත්
සිගරට් ගඳ සගවාගෙන එන්න උගත්
හවස ඇවිත් දම්මි අරන් දුවන සුගත්

දවසම ඉදිකටුවට අහුවෙන දම්මි
හවසට මල් මහන්නී
මඬ ගොහොරුවක ඉන්න සුගත්
කියන මල් ගැන සිතන්නී.

දින හයක් එක දිගට වැඩ කරනවාය ඇය
එක දිනක් සුගත් ළග මල් මහනවාය ඇය
හිටි වනම තව දිනක් සුගත් දක්නට නැතිය
දැන් පුංචි ඇඳුමකට මල් මහනවාය ඇය.

Friday, June 8, 2012

නගරයේ කතාවක්.

දිළිඳු උපන්නේ නගරයෙ කානුවක
දිළිඳු කමට ඉපදුන අවජාතක පුතෙක
ඉසුරු ඉසුරු කියමින් කඩපිල් කොනක
මවක් යදී සිඟමන් දරුවකු ඇකෙක

''ඔහෙලගෙ රුපියලින් බඩ පිරෙනව මාත්තයා
දරුවට කිරි ටිකක් හය මස් අනාථයා''
යන එන මගියකුගෙ හදවත උගස් තියා
රුපියල් යදින්නිය දරුවෙකු ගැනම කියා

උදේ හවස බස් රථවල නගින්නියා
රෑට ගිහින් කඩ මුල්ලක ලගින්නියා
සෙනෙහස විකුණ රුපියල් සත ගණින්නියා
දරුව එක්ක සිඟමන් යන සිඟන්නියා

පියෙකු නොමැති පිය සෙනෙහස අහිමි පුතා
සෙනෙහස නැති මවු උකුළක රැඳුන පුතා
අඬා කාසි ඉල්ලන්නට උපන් පුතා
නුවර කොනක ඉසුරු හොයන දිළිඳු පුතා.

Wednesday, June 6, 2012

ජීවිතයකට පුළුවන්ද අමරණීය වෙන්න?

අයින්ස්ටයින්,
මට ඕනා ආලෝකයේ වේගය
ඔරලෝසු කටුවක් හදනවාද
ආලෝකයේ වේගය සහිත
එල්ලී යන්න මට.

දන්නවාද නුඹ වේගය රැවුල් ගසක
බැරිද කළුවට තියාගන්න සදහටම කේශර
වයසක් තියනවද නළල් රැල්ලකට?.

බැරිවුනිද නුඹට වැඩිපුර ඉන්න
ජීවිතය මන්දනය කර රදවාගන්න
නිවැරදිය මිතුර නුඹ
වේගවත්ය මේ හිත
ආසන්නය ස්කන්ධය අනන්තයට.

මලකට පුලුවනිද පරනොවී ඉන්න
ජීවිතයකට පුළුවන්ද අමරණීය වෙන්න?.

පිහාටුවක සැහැල්ලුව දෙන්න.

මට ඕනා ඇයට කිති කවන්න
පිහාටු කෙන්දකින්.
ඇය හිනාවෙනකොට
මූහුණ දිහා බලාගෙන ඉන්න

පිහාටුවක නැගලා
ඇය එක්ක ඇවිදින්න
තටු ඇඳක ඇය සතපවන්න

පිහාටුවක් හිසහි දවටන්න
ඇයත් කිරිල්ලක් කියන්න
ඉගිලෙන්න හැකි බව කියන්න
හිතට තටු සවි කරන්න

පිහාටු කෙන්දක් ගලවා
ප්‍රාර්ථනාවක් කරන්න
ඉගිලෙන්න වරම් දෙන්න
පිහාටුවක සැහැල්ලුව දෙන්න.

Monday, May 21, 2012

මුට්ට කරගසන්නෙක්.

කරේ තියන් අල ලූනුයි ගෙනාවේ
වෙරේ අරන් ලොරි ගණනින් ගෙනාවේ
දුකම තමයි සංසාරෙන් ගෙනාවේ
ඉර බැස්සම මත් වතුරට හිනාවේ

පැඳුර නැතුව බංකුව උඩ නිදන්නා
නිතර නිතර එළිවෙනකම් කහින්නා
සොඳුර නැතුව තනියම කල් ගෙවන්නා
ඉරට කලින් පිටකොටුවට දුවන්නා

අඩ නිරුවත් පෑදුන ඇට සැකිල්ල
පෙට්ටි කඩෙන් දියවන කය රැකිල්ල
කරේ තියන් ජීවන බර ඇදිල්ල
''අයින් - අයින් '' ඉඩදෙනු! දිවි ගෙවිල්ල.

Thursday, May 10, 2012

නිදිකුම්බා මල.

නිදිකුම්බා මල් මුහුණ
ලැජ්ජාවෙන් ඇඹරුණා

නිදුකුම්බා පත් සිරුර
ලැජ්ජාවෙන් හැකිළුණා

නිදිකුම්බා ඇස් වලින්
මොනවදෝ මිමුණුවා

නිදිකුම්බා රත් සිරුර
යන්තමට සෙලවුණා !

කොන්දොස්තර මහතා , බසය සහ මගියෙක්.

හරියටම උබෙ හඬත්
බස් එකේ හඬ වගෙයි
බස් එකේ ඇන්ජිමත්
උබේ හදවත වගෙයි

නාසයේ වා කවුළු
වසා දමලා වගෙයි
දෙකන් අගුළුත් කඩා
නුඹේ හඬනම් ඇසෙයි

ඉදිරියට තල්ලුවත්
මුළු හිතම තෙරපවයි
ජීවිතේ තල්ලුවක්
ලැබුනොතින් පස්සටයි

ජීවිතේ ටිකට් පත
පොඩිම පංතියෙ වගෙයි
යෑම හරි දුෂ්කරයි
මහා කන්දක් වගෙයි

ඉතිරි රුපියල් නැතත්
හිතේ අහිතක් නැතෙයි
ජීවිතෙත් සිල්ලරයි
ලැබෙන නොලැබෙන එක සැකයි.

දැවෙන හදවතක්.

මහා වන ගින්නක
නිවේවිද සුළු දියකට
''සිටිනු!'' කියු පලියට
නැවත්විය හැකිද හදවත?

සීතලට දැනුනට
ඇහි පිල්ලමක් යට හිඳ
උණු කළ හැකිය හදවත
එක කඳුළු බිඳකට

සිසිලසක් තියනවද
දැවෙන හදවතකට
වැළදගෙන හිටියට
පිදුරු හදවතක් තදකර?

අසමත් ප්‍රේමය.

සොඳුර ආපසු එන්න
ප්‍රේමයේ පාසලට
මා හැරලවා යන්න

කලින් අසමත් වෙච්ච
පාඩමක් දැනගන්න
ප්‍රේමයේ පාසලට
යන්න නැවතත් දෙන්න

ප්‍රේමයේ පොත් පිංච
තව ඇත්තෙ එහෙමමද?
ආයෙමත් ලියන්නට
තවත් පිටු තියනවද?

ප්‍රේමයේ විභාගය
පෙර වගෙම අමාරුද?
නියම පිළිතුර වුණත්
ප්‍රතිඵලය ගැන සැකද?

මට වඩා දක්ෂයන්
හැම තැනම ඉන්නවද?
කොයි තරම් හැකි වුණත්
තියන තරගය වැඩිද?

සොඳුර ආපසු එන්න
ප්‍රේමයේ පාසලට
මා හැරලවා යන්න.

වෙසක් සඳ.

වෙසක් සඳ පායලා දැක්කම
සිල් ගත්ත මේ හිතත් අරගෙන
ඉදලහිට වත් පංසලට නොගියට
මටත් හිතෙනව නිවන් යන්නට

පහන් දැල්ලක් වගෙලු ජීවිතය!
ටික කලක් හරි රැදී තිබුණට
ඒ තරමටම එළිය දෙනවද
දවස ගානෙම දැවෙනවා මිස?

දින දිනම උරුම වන අඳුරය
මලානික ජීවිතය කුමටද?
කල්පයක් වුව බලා ඉන්නද
කෙළවරක අස්වැසිලි සඳකට?

මරණය වුවද කම් නැත
ජීවිතය වුවද කම් නැත
තියෙනවද කමටහන
සොයාගන්නට ජීවිතය?

මා කියා අයෙක් නැත
ඔබ කියා කෙනෙක් නැත
හිත කියා එකක් නැත
මට වෙන්ව කිසිත් නැත

දස අතම ගිලගන්න අඳුරය
කොහිද නිවනහි ස්වරය?
සිත නිවන කමටහන
නිවන! අමාමහ නිවන!

Wednesday, April 25, 2012

හීනයක්.



කටු පඳුරු අතරහිද
පිපෙන තනි මලක වුව
හීන මහ ගොඩක් ඇත.

හීන ඇහිදිය යුතුය.
පාට කර ගත යුතුය.
හීනයක් අතර හිඳ
හීන වෙත යා යුතුය.

රැයක සඳ නැගෙන විට
නිසැකවම එළිය වන
එක් සොඳුරු සිහිනයක
නුඹ මලක් විය යුතුය.

සුවඳ දෙන ඒ මලට
බඹරු ඇදෙනා විටක
බඹරු දෙස නොබලාම
තව සිහින දැකිය යුත.

තවත් එක් සිහිනයක
හිමිදිරිය පිනි බිංඳු
නුඹේ මල් පෙති අතර
දිලිසෙමින් තිබෙනු ඇත.

සිසිලසක් දැනෙනු ඇත.
හිරව ඇති මහා බර
සුසුමකින් වැටෙනු ඇත.
උදාවන නව දිනක
සොඳුරු බව ලැබෙනු ඇත.

Monday, March 19, 2012

මධුසමය.

දෙන්න ඔය මාලය
වළලුත් තියන්න එතනින්ම
කෝ ඉතිං ඉක්මනට

ගෙත්තම් කරන්න හෙමිහිට
අකුරු අරගෙන
සිරුර පුරාම
හිතට දැනෙන කවියක්
සරසන්න ඒ කවිය
රතුපාට තොල් සායමින්

වැටෙන්න දෙන්න සඳ එළිය
උර තලයට
විවර කර දුහුල් ඇදුම
විසිකර දමන්න යහන මත

ඔන්න ඔහොම බලාන ඉන්න
ඇස් කොනින් බලන්න
යන්තමට හිනා වෙන්න
ඔය හුස්ම ඩිංගකට නවත්තන්න

ඇහෙනවාද ඒ හඩ
මා නොකියන
හදවත නුඹට කියන.

මාලය.

රෑ මුරය වැඩ හින්ද අම්මේ යන්න වුණෙ මට තනියමයි
හවස යන්නට කවුරුවත් නෑ පාර යන්තම් කරුවලයි
කුඩෙන් ගැහුවා ගොඩක් අම්මේ පළිගන්න එන්නත් ඉඩයි
කෑ ගැහුව මං හඬ ඇහුණෙ නෑ මතක් වෙද්දිත් හරි බයයි

වැඩට එනකොට දාන්නේ ඇයි වැඩපළේ සර් මගෙන් ඇහුවා
බෝඩිමේ කොහෙ තියල එන්නද පස් දෙනෙක් වැඩ අයගෙ එව්වා
අහු උණොත් හොරු හොයල දෙන්නම් පොලිසියේ සර් කෙනෙක් කිව්වා
අපේ ඇති දුක ගැන බලන්නට දෙයියොවත් මේ ලෝකෙ නැතුවා

රෑට වැඩ ඇති දවස්වල මට අතිකාල පැය ලැබෙනවා
ඒක නැත්නම් ඉතුරුවක් නෑ ළමයි හරියට මැරෙනවා
මගෙ කියල ඔච්චරයි තිබුණේ හදිස්සියටත් තියනවා
මාලෙ ගත්තත් වැඩක් වුණෙ නෑ මතක් වෙනකොට ඇඩෙනවා

(වෙළද කලාපයට රැකියාව සදහා යන අතරතුර සන්නාලියකගේ රන් මාලය පැහැරගෙන තිබුණි.)

Monday, February 13, 2012

අමුතු උණුහුමක්.

දහදිය දමන රාත්‍රියක
ඇය අරන් ආවා
උණුහුමක්
වෙනස් විදිහක

ඉර පායා තිබුණා
ළංව පෙනුණා සඳ
අපි කතා කළා
ඉර හඳ ගැන
ඇගේ ඇස් තිබුණා
තරු කැට විලස

තුරු පත් කෙළවරින්
පිනි බිංඳු වෙටෙන විට
ඇය යන්න ගියා
නොකියාම හෙමිහිට
.......


Saturday, February 4, 2012

නිදහස් දින නිවසක්.


නින්දකින් පසු වසරක
සාඩම්බර සිංහ රජු
සෙලවෙන ලෙසින් කේශර
ඉහළට නැගී ඇත
ලෙලදෙමින් රිටි අග

අවු වැසිද නොතකමින්
දූලි මඩ විඳ විඳ
එතැනමය සිංහ රජු
තව කලක් එලෙසම

Friday, January 27, 2012

|කණ්ණාඩියක් සහ මිනිසෙක්|


අයෙක් ඇති
දෑස ඇති
පෙනුම මදි
කරුමයකි

දමා ගති
සුදුසු ඇති
උපැස් දෙක
සම්පතකි

අයෙක් ඇති
පෙනුම ඇති
උපැස් මත
සිතක් ඇති

දමා ගති
තමම නිති
ලොවක් වියරුව
දකින හැටි

Tuesday, January 17, 2012

|වතු සුද්ද|



මහ ගනඳුරු රැය එළිය කරන්නට
පාට පිරුණු මල් වලින් පලක් නැත
යාන්තමට හඳ එළියෙන් දිලිසෙන
වතු සුද්දා මලක් වෙන්න

බඹරුන් හට රොන් උරන්න
එපා සුවඳ පාට දෙන්න
බැතින් පිරුණු වට්ටියකට
වැදී මුනිඳු ළඟට යන්න

දූලි වැදී ගස් ඉති මත
එපා ඉන්න පරව යන්න
පිවිතුරු ලෙස රැයට පිපෙන
වතු සුද්දා මලක් වෙන්න

Friday, January 13, 2012

|වෙනස|

බියගුලු මහ එවුන්
හිඳිමින් පොඩි උන්ගෙ කර මත
පෙරමඟ බියක් දුටුවිට
සැඟවෙයි උනුන්ගෙම අහු කොන්වල

නොබියව බුරන සුනඛ තෙම
වැකුණු පසු හඬ ගල් කැටයක
දිවයයි එසැණ මගහැර
සඟවා නගුට පා මුලුවල

පසුපස දුවන උන්
අදිමින් මහ උන්ගෙ බර
ලැබගෙන තුටු පඬුරු ලොබකර
සැනහේ විටින් විට මදකට

විසිකළ රබර් පා වැසුමක
සපමින් රස කරන සුනඛ තෙම
සැණෙකින් ගෙදර හිමි දැක
සොයමින් ඉව කරයි රස තවකෙක

Sunday, January 8, 2012

|පෙම් හිතක වැලපිල්ල|

සිසිල සැනසුම ගෙනෙන රෑ යම
නිදි නොලැබ හිත කිමද ගිනියම
නිහඬ කඳුළක හිතට උණුහුම
විඳිමි! නිසසල රැයක හිඳ මම

පෙළෙන විට හද නොදැක නුඹෙ වත
සඳහි, තරුවක නිතර ඉඟි ඇත
වෙන්ව තනිවුණ කලක සුව නැත
හිතක පතුළක නිතර දුක ඇත

ඇසෙන නෑසෙන හඬහි ඇසුණිය
දකින නොදකින රුවහි පෙනුණිය
හිතට ගෙවැදුණු සොඳුරු ප්‍රේමය
නුඹය..! නුඹමය..! මගේ ලෝකය