Tuesday, December 27, 2011

නත්තල.

නත්තලේ අහස යට
විසිතුරුව පැළදගෙන
සළුපිළි ද අබරණ ද
නොයෙක් විසිතුරු බඩුද

සිටුවරුය ඇවිද යන
වීදියේ කඩ අතර
එවන් සිටුවරු ගෙනෙන
බොහෝ සැප ඇති රථය

නොයෙක් රස කර තැනුණ
මසින් රස කරන ලද
අවන්හල් සීරුවට
වීදියේ තැනින් තැන

කුසගින්න පිරි නෙතින්
සුවඳ යහමින් බුඳින
අම්මෙක්ය..! දරුවෙක්ය..!
කඩපිලේ දොර අසල

Sunday, December 25, 2011

|ඉරිසියා මගේ සිත|

ඉරිසියා පිරී ඇති
මගේ සිත විදින දුක
සඟවාන නුඹෙන් මම
සොයන්නෙමි අතීතය

හිත රිදෙන අතීතය
පැවසුවත් නුඹ මහට
දැනෙන දුක විඳ විඳම
මගේ සිත සොයන නුඹ

නුඹේ සිත දැනෙන විට
තෙත බරිත දෙනෙත් පිස
මතු දැනෙන සුවය ගැන
සොම්නසින් මගේ සිත.

Friday, November 11, 2011

|පසළොස්වක|

නැගුණු පුරහඳ ආකහේ
තරු පොකුරු දස අත විහිදිලා
පහන් පංදම් වැට දිගේ
පිං පිරුණු පංසල එළිකලා

බෝ මළුව මද කළුවරේ
ඇසෙන බණ සිත පැහැදනා
සුවඳ මල්වල දස අතේ
මුණිඳු පාමුල නැහැවෙනා

බෝ සෙවන යට බිම වැලිතලේ
හිඳ නොයෙක බුදු ගුණ ගායනා
විඳි සසර දුක් ගිනි වේදනා
මොහොතකට ළඟ නැතිවෙනා.

Thursday, November 10, 2011

|අරලිය මල් කුමාරි|

නෙතු පියන් වැසිලා
මල් සුවඳ දැනිලා
පෙම් සුවය පිරිලා
මගෙ හිතේ මලක් පිපිලා

හදවත ගැහෙනා සද්දෙට
ඉවසිලි නෑ සුවඳ ගන්න
හදවත ගැහෙනා තාලෙට
නැළවෙන මල් පෙති සිඹින්න

මල් පෙතිවල මොලකැටි බව
සවනට කොඳුරා කියන්න
මගෙ ජීවිතෙ සුවඳ වෙන්න
සැමඳා මා ළඟ රැදෙන්න

නෙක නෙක මල් පොකුරු අතර
දිඳුලන මල් කුමාරි නුඹ
සුවය ගෙනෙන සුවඳ හමන
අරලිය මල් කුමාරි නුඹ

නෙතු පියන් වැසිලා
මල් සුවඳ දැනිලා
පෙම් සුවය පිරිලා
මගෙ හිතේ මලක් පිපිලා.

|අපි කථා නොකර ඉමු|

සබඳ අපි කථා නොකර ඉමු
බලා හිඳිමු දෑසින් දෑස දෙස
දහසක් පවසන සිතැඟි
නිහඬව අසා හිඳිමු
මනැසින් බලා හිඳිමු

පතනා සිහින පොදි
දිඳුලනා නෙත් කොනින්
එකිනෙකට කියන'යුරු
නිහඬව අසා ඉමු

උතුර යන සෙනෙහසින්
කඳුලු කැට වැටෙන විට
සොඳුර අපි වැලඳ ගමු
ප්‍රේමයෙන් වැළඳ ගමු.

Saturday, October 15, 2011

|සමනලී කොහිද නුඹ|

පියා නොසලා මගෙන් ඉවතට
මගේ දැහැනට ඉඟිල එනු මැන
සතපවා මා රුකක් පාමුල
මගේ අබියස සැරිසරනු මැන

කඳුළු වියලුනු මගේ දෑසට
සොඳුරු දසුනක් ලබා දෙනු මැන
නුඹෙන් හැඩවුණු නොයෙක් මල් ඇත
පිපුණු නටු අග උඩඟු ලීලෙන්

ඈත පෙනෙනා නොයෙක කඳු මත
සැරසු මිහිකත මහා රුක් ගොමු
සැතපිලා ඉමු ඟිමන් හරිනට
සමනලී නුඹ එන්න මා වෙත.

Tuesday, October 4, 2011

|ලොක්කලා සහ සොක්කලා|

මිහිකත සමඟ මිතුරුව වෙළි නුඟ පැළය
කොතැරම් සුළඟ ආවද ගලැවනු බැරිය
මිහිකත සමඟ සුළුවට බැදි බට පැළය
පොඩි සුළඟටත් මිහිකත මත ඇද වැටිය

Sunday, September 25, 2011

|විරහව|

යමි
නිදමි
කොට්ටයට
ගතු කියමි

හඩමි
වැළපෙමි
හිස් බවට
පෙම් කරමි

දකිමි
තුටු වෙමි
සුව සිහින
වැළදගමි

මිදෙමි
නැගිටිමි
නැවත සෝ
වැළදගමි.

Friday, August 19, 2011

|හදවතට තට්ටු කර|

හදවතට තට්ටු කර අසා බැලීමි
මා ඇයට ඇති ආදරයේ තරම
නැගුනි බොල් හඩක්

අනතුරුව ප්‍රතිචාර නැති කල
පපුව සිදුරුකර අතට ගෙන
රුධිරයෙන් නැහැවුනු හදවත
අසා බැලීමි ආදරේද මම ඇයට

හදවත නිහඬය පෙර ලෙසම
මහත් වූ ආවේගයකින් කිපුණු මම
හදවත මිරිකා අසා බැලීමි නැවතත්
ආදරේද මම ඇයට

තැති ගැණුනි මම
හදවත කියූ වදනින්
මදක් නිහඩව සිට

නිහඬ වූ ආදරය
රැදේ හැමකල්හිම
ලොවම දුටු ආදරය
පරණ වේයි මතු දිනක

ඒ ඇසූ මම
ගැහෙන හදවත දෙස බලා
කරබා ගතිමි.