Friday, November 11, 2011

|පසළොස්වක|

නැගුණු පුරහඳ ආකහේ
තරු පොකුරු දස අත විහිදිලා
පහන් පංදම් වැට දිගේ
පිං පිරුණු පංසල එළිකලා

බෝ මළුව මද කළුවරේ
ඇසෙන බණ සිත පැහැදනා
සුවඳ මල්වල දස අතේ
මුණිඳු පාමුල නැහැවෙනා

බෝ සෙවන යට බිම වැලිතලේ
හිඳ නොයෙක බුදු ගුණ ගායනා
විඳි සසර දුක් ගිනි වේදනා
මොහොතකට ළඟ නැතිවෙනා.

Thursday, November 10, 2011

|අරලිය මල් කුමාරි|

නෙතු පියන් වැසිලා
මල් සුවඳ දැනිලා
පෙම් සුවය පිරිලා
මගෙ හිතේ මලක් පිපිලා

හදවත ගැහෙනා සද්දෙට
ඉවසිලි නෑ සුවඳ ගන්න
හදවත ගැහෙනා තාලෙට
නැළවෙන මල් පෙති සිඹින්න

මල් පෙතිවල මොලකැටි බව
සවනට කොඳුරා කියන්න
මගෙ ජීවිතෙ සුවඳ වෙන්න
සැමඳා මා ළඟ රැදෙන්න

නෙක නෙක මල් පොකුරු අතර
දිඳුලන මල් කුමාරි නුඹ
සුවය ගෙනෙන සුවඳ හමන
අරලිය මල් කුමාරි නුඹ

නෙතු පියන් වැසිලා
මල් සුවඳ දැනිලා
පෙම් සුවය පිරිලා
මගෙ හිතේ මලක් පිපිලා.

|අපි කථා නොකර ඉමු|

සබඳ අපි කථා නොකර ඉමු
බලා හිඳිමු දෑසින් දෑස දෙස
දහසක් පවසන සිතැඟි
නිහඬව අසා හිඳිමු
මනැසින් බලා හිඳිමු

පතනා සිහින පොදි
දිඳුලනා නෙත් කොනින්
එකිනෙකට කියන'යුරු
නිහඬව අසා ඉමු

උතුර යන සෙනෙහසින්
කඳුලු කැට වැටෙන විට
සොඳුර අපි වැලඳ ගමු
ප්‍රේමයෙන් වැළඳ ගමු.